April 25, 2024

මම එක ජාතියකට ඇමති නෙවෙයි - රට වෙනුවෙන් ඇමති

පාස්කු ප්‍රහාරයට හෝ අන්තවාදයට සම්බන්ධ පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙනවිත් දඬුවම් ලබාදීමට උපරිමයෙන් කැපවෙන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

මහනුවර දී පැවති වැඩසටහනක දී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

ලාභ ප්‍රයෝජන ලබාගැනීම සඳහා තමන් දේශපාලනයට අවතීර්ණ නොවු බවත් තමන්ට අවශ්‍ය මිනිසුන් බෙදා වෙන් කිරීමට නොව එකතු කිරීමට බවත් ඒ මහතා පවසයි.

ඇතැම් පුද්ගලයින්ට අවශ්‍ය වී ඇත්තේ මිනිසුන් බෙදා වෙන්කර අන්තවාදය පෝෂණය කිරීමට නමුත් රටේ බහුතර ජනතාව එම තත්ත්වය තේරුම්ගෙන සිටන බවත් අලි සබ්රි මහතා එහිදී පැවසීය.

රටේ සුළු ජනතාව නව ගමනක් ආරම්භ කර ඇති බවත් "ජාතිය මත පදනම් වු දේශපාලනයෙන් තොරව ප්‍රතිපත්ති මත පදනම් වු ජාතික දේශපාලන ගමනක්" යා යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

එම නව ගමනට සුළු ජාතීන් වෙනුවෙන් සහෝදරත්වයේ දෑත් දිගු කිරීමේ යුතුකමක් ප්‍රධාන පාර්ශවවලට තිබෙන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කියා සිටියේය.

"මම අධිකරණ ඇමතිවරයා ලෙස ජනා‍ධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ යම් සමාජයක් හෝ යම් ජන කොට්ඨාශයක් වෙනුවෙන් නෙවේ..මේ රට වෙනුවෙන්..අපි මේ රටට ඉතාමත්ම ආදරෙයි. අපි මේ රටේ ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම සඳහා කැපවෙලා ඉන්නවා. කිසිම අවස්ථාවක මේ රටට විරුද්ධව,මේ රටේ සාමයට විරුද්ධව හෝ මිනිස්සුන්ගේ සහෝදරත්වයට විරුද්ධව අපෙන් අබමල් රේ‍ණුවක තරම්වත් වරදක් සිද්ධ වෙන්නේ නැති බව සහතික වෙනවා..ඒ පිළිබඳව කිසිදු අවිශ්වාසයක් තියාගන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේ රටේ අපිට තරම් මුස්ලිම් සමාජයෙන් අන්තවාදය ඉවත් කරන්න ඕනෑකමක් වෙන කාටවත් නෑ. ඒ අන්තවාදීන්, ත්‍රස්තවාදීන් ඉන්න තාක්කල් අපිට නිදහසේ ඉන්න නෑ..ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම කැපවෙනවා කවුරුහරි පාස්කු ප්‍රහාරයට හෝ අන්තවාදයට හෝ සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ අන්තිම පුද්ගලයා දක්වා නීතිය ඉදිරියට ගෙනල්ලා දඬුවම් කරන්න."

Rate this item
(0 votes)