April 25, 2024

රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ වෙනසක් නෑ - වෙනස් කිරීම ජනපති කැමැත්තට පමණයි

රජයේ සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සඳහා පත් කර සිටින සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වෙනස් නොකළ යුතු බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා විසින් ලිඛිතව අදාළ දැනුම්දීම සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දැනුම් දී ඇති බව රජයේ ආරංචි මාර්ග පැවසීය.

රජයේ සංස්ථා, මණ්ඩල හා ව්‍යාවස්ථාපිත ආයතන සඳහා පත් කර සිටින සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ යම් වෙනසක් සිදුකරන්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාගේ එකඟතාව ලබාගත යුතු බව අදාළ ලිපියේ සඳහන් වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්විමෙන් අනතුරුව අදාළ ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරිම සිදුකරනු ලැබුවේ විශේෂ කමිටුවකින් ලැබුණු නිර්දේශ මතය.

එම නිසා අදාළ තනතුරු සඳහා පත්කළ පුද්ගලයින් වෙනස් නොකර දිගටම කටයුතු කිරීමට එම නිලධාරින්ට අවස්ථාව ලබාදිය යුතු බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී තිබේ.

මේ අතර සිය අමාත්‍යාංශවල කටයුතු ලබන සඳුදා දිනට පෙර ආරම්භ කරන ලෙස සියලු කැබිනට් සහ රාජ්‍ය  අමාත්‍යවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම් දී තිබේ.

අමාත්‍ය ධුරවල දිවුරුම්දීමේ අවස්ථාවෙන් අනතුරුව මෙම දැනුම්දීම සිදු කර ඇති බව වාර්තා වේ.

හැකි ඉක්මනින් අමාත්‍යාංශවල රාජකාරි කටයුතු ආරම්භ කර ඉදිරි කටයුතු සිදුකිරිමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සියලු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වෙත දැනුම් දී තිබේ.

කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ඊයේ (11) පෙරවරුවේ මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි මඟුල් මඩුවේ දී දිවුරුම්දීම සිදුකළ අතර එළෙස දිවුරුම්දුන් අමාත්‍යවරුන් බොහෝ පිරිසක් අද දිනයේ සිය අමාත්‍යාංශවල රාජකාරි කටයුතු ආරම්භ කිරිමට නියමිතය.

Rate this item
(0 votes)