March 28, 2024

නව ව්‍යවස්ථාවක් වෙනුවට සංශෝධනයක්? බලතල ජනපති යටතට

19 වැනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුව හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත පවරා ඇති බලතල ජනාධිපතිවරයාට ලැබෙන අන්දමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙක් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රජයේ ආරංචි මාර්ග පවසයි.

මහ මැතිවරණයේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා බව ආණ්ඩු පක්ෂය පොරොන්දු වූ වුවද නුදුරේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් නොකරන බවත් ව්‍යවස්ථා සංශෝධනයක් පමණක් ඉදිරිපත් කරන්නේ ඒ වෙනුවට බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනාධිපතිවරයාට අමාත්‍යධූර දැරීමේ හැකියාව ලබා දීම ඇතුළු තවත් කරුණු එම සංශෝධනයට ඇතුළත් කරන බවත් තවමත් ආණ්ඩුවේ නායකයින් සාකච්ඡා කර එකඟතා ඇති කරගෙන නොමැති බවත් වාර්තා වේ.

දැන් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කිරීම ආණ්ඩුවේ වගකීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

ජනතාව තුනෙන් දෙකට ආසන්න බලයක් ලබාදී ඇති බවත් ජනතාවගෙන් එවැනි බලයක් ඉල්ලා සිටියේ ව්‍යවස්ථා සංශෝධනයක් සදහා බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Rate this item
(0 votes)