April 19, 2024

ෆේස්‌ බුක්‌ ආදරයෙන් සල්ලි හොයන හැටි මෙන්න

September 03, 2014
ෆේස්‌ බුක්‌ මගින් පාසල් යන අවුරුදු 17 ක තරුණියක්‌ මුළාකර ඇගේ මව සතුව තිබූ රුපියල් ලක්‍ෂ 2 1/2 ක්‌ වටිනා රන් මාල, වළලු, මුදු හා රුපියල් 77,000 ක මුදලක්‌ වංචා සහගතව ලබාගත් මරදාන ප්‍රදේශයේ තරුණයකු කඩවත පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
 
කොළඹ පාසලක අධ්‍යාපනය හදාරන 17 හැවිරිදි පාසල් සිසුවිය මහර නාතුඩුව ප්‍රදේශයේ පදිංචි තරුණියකි. ෆේස්‌ බුක්‌ මගින් ඇයව හඳුනාගෙන ඇති එකී තරුණයා ඇයව මුළාකර මෑණියන් සතු ලක්‍ෂ 2 1/2 ක්‌ වටිනා රන් ආභරණ සමග රුපියල් 77,000 ක මුදල වංචා සහගතව ලබා ගෙන තිබේ.
 
මේ පිළිබඳව කඩවත පොලිසියට කරන ලද පැමිණිල්ලක්‌ අනුව අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පො.ප. ගැමුණු ගුණරත්න මහතා සූක්‍ෂම උපාය යොදා තරුණියගේ කටහඬ උපයෝගි කරගෙන තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඔහුගේ පියා මරදාන ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස්‌ අලෙවි ආයතනයක හිමිකරුවකු වන අතර තරුණිය මුළාකළ තරුණයා නිතර නිතර සම්බාහන ආයතනවලට යැමට ඇබ්බැහිව සිටි අයෙකු බවද පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.
 
සැකකරු විසින් වංචා සහගතව ලබා ගෙන තිබූ සියලුම රන් ආභරණ සමග මුදල් අත්අඩංගුවට ගැනීමෙන් පසු අගෝස්‌තු 29 වැනිදා මහර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දඬුවම් නියම කිරීම නොවැම්බර් මස 05 වැනි දිනට කල්තබා ඇත
Rate this item
(0 votes)