April 25, 2024

"Made in Sri Lanka" යුගයක් අත ළඟ - විමල් කියයි

ඉදිරි දශකය මෙරට නිෂ්පාදන බලගන්වන – ව්‍යවසායකත්වය බලගන්වන දශකය බවට පත් කෙරුමට අවශ්‍ය මූලික පියවර රැසක් ගෙවුණු මාස 08ක කාලය තුළ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස තමන්ට ගත හැකි වූ බවත් ඒ අනුව යමින් තරුණ පරපුරේ ජීවිත ගොඩනගමින් ව්‍යවසායකත්ව මනසකින් යුත් තරුණ පිරිසක් බිහි කිරීමට බලාපොරොත්තු වන බවත් ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ අවිස්සාවේල්ල නගරයේදී පැවැති ජනරැලියක් අමතමිනි.

එහිදි අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“2015 දී අපි පැරදුන නායකයත් එක්ක හිටගත්තා. 2015 ජනවාරි 11 තිබුණ මාධ්‍ය සාකච්ඡාවේදී ‘ ඔබේ නායකයා පරාජය වූවා නොවෙයි, පසු බැස්සා පමණයි, අපි ඔබේ නායකයාව නැවත ගේනවා,‘ කියන සහතිකය මම දුන්නා. ‘2015 පෙබරවාරි 18 ඡන්දය දුන්නු ලක්ෂ 58න් කෙනෙක් නම්, පෙබරවාරි 18 හවස තුනට නුගේගොඩට එන්න’ කියලා පෝස්ටරයක් රට පුරාම ඇලෙව්වා. එදා නුගේගොඩ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඇඳුනා. දින 100 ආණ්ඩුවේ බුරියානි කාපු අයට බඩ රිදෙන්න පටන් ගත්තා.

අපි දේශපාලනය කරන්නේ වැල යන අතට මැස්ස ගහන්න නොවෙයි, රටට යහපතක් වෙන ලෙසට මේ දේශපාලන යාන්ත්‍රණය හසුරවන්න. ඒ සියල්ලේ ප්‍රතිඵල මත බොහෝ දෙනෙක් ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් ජනාධිපති ධුරයට පත් වේවි කියලා නොහිතපු වෙලාවක එතුමා ජනතාවගේ කැමැත්ත පරිදි ජනාධිපතිවරයා බවට පත්වුණා. කොහොම නමුත් අපේ රටට සුදුසුම නායකයා ගෝඨාභය රාජපක්ෂ. රටට යහපතක් කරන නායකයෙක් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව හඳුන්වන්න පුළුවන්.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කර්මාන්ත අමාත්‍යාංශය මට බාර දුන්නේ මේ රටේ කර්මාන්ත පුනරුදය ඇති කරන්න. ව්‍යවසායක ප්‍රබෝධය ඇති කරන්න. ඒකට අපි දැනටමත් සූදානම් වෙලා ඉවරයි. ගිය මාස හත අට ඇතුළත මම අමාත්‍ය මණ්ඩල පත්‍රිකා දොළහකට වැඩිය අනුමත කරගත්තා. ඉදිරියේදී අපි ටයිටේනියම්වලට අගය එකතු කිරීමක් කරලා, රාජ්‍ය, පුද්ගලික හවුල් සමාගමක් හදලා රාජ්‍ය ආදායම වැඩි කරන්න සැලසුම් හදනවා. අපේ මිනිරන්වලට අගය එකතු කිරීමක් කරලා වැඩි මිලට වෙළෙඳපොළට යවනවා. ලෝකයේ නොඉඳුල් යපස් නිධියෙන් ප්‍රයෝජන අරගන්නවා. ඒ අනුව කර්මාන්ත අමාත්‍යාංශයට බුත්තල යපස් නිධිය පවරාගන්න අවශ්‍ය ගැසට් පත්‍රය ගහනවා විතරක් නොවෙයි, බුත්තල යපස්වලින් යකඩ හදන කර්මාන්තයක් අපි ආරම්භ කරනවා.

මට කර්මාන්ත අමාත්‍යාංශය ලැබුණු ගමන් මම උතුර නැගෙනහිර වැසුණු කර්මාන්තශාලා නිරීක්ෂණය කරන්න ගියා. මලකඩ කාලා දූවිලි බැඳුණු යන්ත්‍රවලින් ඈවර වුණු කම්හලක යන්ත්‍ර පණ ගන්වලා අපි මේ වෙලාවෙදි කඩදාසි නිපදවනවා. ‘ශ්‍රීපත්’ නමින් වාලච්චේනයේ දී දැන් හැදෙන ඒ කඩදාසි තමුන්නාන්සේලාට දැකගන්න පුළුවන්. ඒ වගේම බැංකුවලට සින්න වෙලා තිබුණු ඇඹිලිපිටිය කඩදාසි කම්හලත් මම ආරම්භ කරනවා.‘ශ්‍රීපත්’ කඩදාසි ටොන් තිහක් කොළඹ දි අලෙවි කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ කම්හල අබලි යකඩවලට විකුණලා ඒ ලැබෙන ගතමනාවෙන් සතුටු වෙන්න අපි මේ තනතුරු ලබා ගත්තෙ නැහැ.

ලක්ෂ 69ක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දය දුන්නේ පරණ දේශපාලන මෝඩකම් කරන්න නොවෙයි. මේ රට සමෘද්ධිමත් කරලා මේ රට ගොඩනඟන්න. අපි ගමට කර්මාන්ත ගේනවා. ගමෙන් නිපදවෙන අතුරු නිෂ්පාදනවලට අගය එකතු කිරීමක් කරනවා. ගෘහ ආර්ථිකය ශක්තිමත් කරන්න ගෘහ කර්මාන්ත ගෙනෙනවා. අපේ රටේ දේවල් නිපදවන ‘මේඞ් ඉන් ශ්‍රී ලංකා‘ යුගයක් නිර්මාණය කරනවා. ඉදිරි දශකය නිෂ්පාදන බලගන්වන, ව්‍යවසාකත්වය බලගන්වන දශකයක් බවට පත් කරනවා. මේ රටේ තරුණ පරපුරේ ජීවිත ගොඩනගමින් ව්‍යවසායකත්ව මනසකින් යුතු තරුණ පිරිසක් බිහි කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

Rate this item
(0 votes)