April 25, 2024

පොහොට්ටුවන් සුන් කරන්න රනිල්ගෙන් යෝජනාවක්

කැපුවත් කොල පාට කියා කියන අයයි අපියි සියල්ලම එකට එකතු වෙලා වැඩ කෙරුවොත් පොහොට්ටුව පරද්දන්න ඉතාමත් පහසුයි. එලෙස එකතු වනවානම් අපිට ආණ්ඩු බලය අරගන්න පුළුවන්. පළවෙනියට තරගය තියෙන්නෙ බලය ගන්නයි. දෙවැනියට තරගය තියෙන්නෙ මනාපය ගන්නයි. බලයක් ලබාගන්න බැහැ කියා හිතපු අපේ සමහර අය තමයි අද පැනලා ගිහිල්ලා ගෑස් සිලින්ඩරය වගේ පැත්තකට වෙලා තියෙන්නේ. හිතන්න එපා අපිට බලය ගන්න බැහැයි කියා. බලය ගන්න පුළුවන් අය තමයි අද අප වටා එකතු වෙලා සිටින්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ජාඇලදී පැවසීය.
 
ජාඇල එක්සත් ජාතික පක්ෂ සංවිධායක ඇන්ටන් මයිකල් පෙරේරා මහතාගේ ජය තහවුරු කිරීම පිණිස එක්සත් ජාතික පක්ෂ ජාඇල බලමණ්ඩල රැස්වීම දඬුගම රාමඩා සංචාරක හොටල් පරිශ‍්‍රයේදී පැවති අවස්ථාවේදී රනිල් වික‍්‍රමසිංහ මහතා එලෙස පැවසීය.

මෙම බලමණ්ඩල රැස්වීම එක්සත් ජාතික පක්‍ෂයේ ජාඇල සංවිධායක ඇන්ටන් මයිකල් පෙරේරා මහතා විසින් සංවිධානය කර තිබුණි.

මෙම බල මණ්ඩල රැස්වීමට ගම්පහ දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක අර්ජුන රණතුංග, රුවන් විජයවර්ධන, හිටපු කථානායක ජෝසප් මයිකල් පෙරේරා, හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග සහ මෙවර ඉදිරිපත්ව ඇති අපේක්ෂක වරු කීප දෙනෙක් ද සහභාගි වූහ.
 
පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

අපි කැපවෙලා වැඩ කළ යුතුයි. ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ මැතිවරණ 15 ක්ම තරග කරලා පාර්ලිමේන්තුවේ හිටපු එකම පක්ෂය මොකක්ද? ඒ තමා එක්සත් ජාතික පක්ෂය. එම වාර්තාව ආසියාවේ වාර්තාවක් ද වනවා. අපි පාක්ෂිකයෝ හැටියට හැම ඡුන්දයකදීම එක වාගේ එකට හිටියා. අපේ එක්සත් ජාතික පක්ෂයේ වගේ පැරණිම පක්ෂයක් තියෙනවානං තියෙන්නේ මැලේසියාවේ වගේම පාකිස්තානයේ මුස්ලිම් කොංග‍්‍රසය. හැබැයි එයත් දෙකට කැඩිලා. අපේ එක්සත් ජාතික පක්ෂය තරම් පැරණි පක්ෂයක් තවත් නැහැ. අපේ එක්සත් ජාතික පක්ෂය ඉතා පැරණි පක්ෂයක්. ලංකා ජාතික සභාවටත් වඩා අපි පැරණි පක්ෂයක්. එදා ඞී. එස්. සේනානායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂය හැදුවේ කැපුවත් කොළ තියෙන මිනිස්සු කොට්ඨාසයක් වශයෙනුයි. නිදහසෙන් පස්සේ සුද්දන් විසින් බෙදා තිබෙන රට එකතු කරනවා නම් සුළු ජාතිකයන් මුස්ලිම් දෙමළ සිංහල එකට එකතු කරන්න හැකියාවක් තිබුණේ අපේ එක්සත් ජාතික පක්ෂයටයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ශ්‍රී ලාංකීය අනන්‍යතාව ඇති කිරීමට හැකි පක්ෂයක්. ඒ අනන්‍යතාවයෙන් කියාපෑවේ මොකක්ද දන්නවද. බහුතර සිංහලයන් අතරෙන් තමා රටේ නායකත්වය තෝරන්න අවශ්‍යයි කියන කියමනයි. ඒ සමඟම දෙමළ, මුස්ලිම්, බර්ගර් යන අය එකට සහයෝගයෙන් සිටීමට හැකියාවක් ඇති විදියට තමයි එදා අපේ පක්ෂය සියලූම දේවල් සිදු කළේ.
 
එදා සිංහල නායකත්වයට මුල් තැන දීලා සැවොම එකතු වෙලා එක ගමනක් යන්න ඕනේ කියා සම්මතයක් තිබුණා. එලෙස තිබෙන එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණමයි. සිංහල බහුතර ඡුන්ද ගන්න හැකි පක්ෂ දෙකක් තියනවා. ඉන් අපි හැරුනාම අනිත් පක්ෂය අපිට විරුද්ධව යන නිතර නිතර තම පක්ෂයේ නම මාරු කර කර යන අය වනවා. ඒ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියා ආරම්භ කරලා, පුටුවකට මාරුවනවා, ඉන් අනතුරුව මැදට ගිහිල්ලා අටුව කියලා නැවත වෙන මොකක්දෝ කියලා ආයෙත් මාරු කරලා තිබෙනවා. එ් අයට අද සිංහල ජාතියේ ඡුන්ද විතරයි වුවමනා වෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයත් සිංහල ජාතිය නියෝජනය කරනවා. එක්සත් ජාතික පක්ෂයේ අය අනිත් ජාතීන්වත් නියෝජනය කරනවා. අපේ එක්තරා පාලන යුගයක සිංහල බෞද්ධ කමට එහා ගිහින් කතෝලික දහම අදහන අයට ඉතා උසස් සේවාවන් සහ විවිධ දේවල් ලබා දුන් අවස්ථා තිබෙනවා. පාස්කු බෝම්බය සිදුවූ අවස්ථාවේ අපේ පැත්තේ එදා සිටි වගකිවයුතු පුද්ගලයා විසින් සිදුකළේ් මොකක්ද කියා මම කියන්න යන්නේ නෑ. අද එ් කෙනා ඉන්නේ පොහොට්ටුව පැත්තේ. එදා අපි එම ක‍්‍රියාවේදී සිදුකළ හරි පරීක්ෂණයන් නිසා එදා ඇමරිකාව එය වටහා ගෙන අයි. එස්. අයි. එස්. සංවිධානයේ නායකයා මරණයට පත් කරන්න පවා ඉස්මතු වුණා. අපිට මින් ඉදිරියටත් බෞද්ධ, කතෝලික සහ අන්‍ය ආගම්, වල සියලූ දෙනා සමග එකට එක්ව වැඩ කටයුතු කරන්න සිදුවෙලා තියෙනවා. අපි යන ගමනේදී බහුතරයත් සුළුතරයත් එකට එකතු කරලා යන ගමනක්. අපි තමයි නියම එක්සත් ජාතික පාක්ෂිකයෝ. අපෙන් යම් පිරිසක් ගලවාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ අය ගැන අපිට කරන්න දෙයක් නෑ. විශාල ගහක් වුණාමත් අතු කැඩෙනවා, කොළ වැටෙනවා, යැයි යම් ගහක් හිටවන කෙනා
 
 දැනගන්න අවශ්‍ය වනවා. ගහක කොළ වැටිලා අතු කැඩිලා ගියාට ගහේ කඳ හොඳට තියෙනවා. අද අපි සමග සිටි සමහර අය නඩු මාර්ගයට ගියා ඇත්ත එක්සත් ජාතික පක්ෂය ඒ අයගේ බලවේගය කියා. නමුත් එ් අයට අධිකරණයෙන් නියම පිළිතුරක් ලැබුණා. ඒ අයට අධිකරණයෙන් කියා තිබුණා බලවේගය කියා තනාගත් පක්ෂයට එක්සත් ජාතික පක්ෂය කියා කියන්න බැහැ කියන එක. එක්සත් ජාතික පාක්ෂිකයන් සමග එ් බලවේගය කියන අය තරග කරාම එක්සත් ජාතික පාක්ෂිකයන්ට හානියක් වනවා. ඒ අය වෙනම දේශපාලන පක්ෂයක්. එ් අයට බෑ එක්සත් ජාතික පක්ෂයේ තවදුරටත් සාමාජිකයෝ වෙන්න. ඔය කියන සමගි ජන බලවේගයේ සිංහල, බෞද්ධ, කතෝලික ජනතාව නියෝජනය කරන පක්ෂයක් නොවේ. එලෙස ඔය කියන ජාතීන් නියෝජනය කරන පක්ෂයක් තියෙනවා නම් මට එම පක්ෂය පෙන්වන්න. එලෙස පක්ෂයක් තියෙනවද? එහෙම එකක් නෑ. එක පැත්තකින් රාවුෆ් හකීම් මැතිතුමා ඉන්නවා. එයා කැපුවත් කොළ පාට කෙනෙක්ද? අනිත් පැත්තෙන් දිගම්බරම් මහතා ඉන්නවා. එයා කැපුවත් කොලපාට කෙනෙක්ද? ආයේ මනෝ ගනේෂන් මහතා ඉන්නවා. එයා කැපුවත් කොළ පාටද? රිෂාද් බදුර්දීන් මහතා ඉන්නවා. ඔහුත් කැපුවත් කොළ පාටද? කොළඹින් චම්පික රණවක එතන ඉන්නවා. එයා කැපුවත් කොල පාට කෙනෙක් ද? ඒ අය අපේ එක්සත් ජාතික පක්ෂයේ ඡුන්ද වලට පිංසිද්ද වන්නයි ඔතන ඉන්නේ. ඒ අය ප‍්‍රසිද්ධියේ කියනවා අපි එක්සත් ජාතික පාක්ෂිකයෝ නෙවෙයි කියලා. එතකොට කෝ ඔය කියන එක්සත් ජාතික පාක්ෂිකයෝ කියන අය. අපේ සමහරු එතනට ගිහිල්ලා එකතු වුණා කියලා එක්සත් ජාතික පාක්ෂිකයන් වෙනවාද? නැහැ එහෙම වෙන්නේ නැහැ. සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයෝ මේ වනකොට බුරුතුපිටින් අප හා එක් වනවා. එය අද ජාඇල බලමණ්ඩලයේ දීම ඔප්පුකර පෙන්නුවා.
 
 අද ඔය බලවේගයේ වටේ ඉන්න අයට එදා ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයත් එක්ක එන්න බයක් තිබුණා. එහි ප‍්‍රතිඵලය තමයි සිංහල ඡුන්ද විසිපන්දාහක්, විසිදාහක් විතර එදා අඩු වුණේ. අපිට යම්කිසි ප‍්‍රතිපත්තියක් තියෙනවා. එ් ප‍්‍රතිපත්තිය අනුව අපිි වැඩ කරනවා. එම ප‍්‍රතිපත්තියේදී පුද්ගල වාද නැහැ. අපි එක්සත් ජාතික පක්ෂයට ආදරය කරපු නිසා තමයි එදා දෝෂාභියෝගය
 
ආපු වෙලාවේ මගේ හොඳම මිත‍්‍රයින් දෙදෙනෙක්ව පවා අමතක කරලා මම එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකට හිටියා. 1970 ලලිත් ඇතුලත් මුදලි සහ මම එකට දේශපාලන ආපු අය. ගාමිණි දිසානායක ඊට පස්සේ පැමිණියේ. අපි ළඟම මිතුරන් වනවා. නමුත් දෝෂාභියෝගයක් ගෙන ආ වෙලාවේ මම එදා හිටියේ අපගේ නායකයා වන රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා සමග. එදා මා සමග ජෝශප් මයිකල් පෙරේරා මහත්මා ද එකට හිටියා. එදා මම එම අභියෝගයේදී ඡන්දයක් යෝජනා කළාම එක එක්කෙනා ඡන්දයට පක්ෂවෙලා රාත‍්‍රී වනකන් විජේපාල මෙන්ඩිස් ඇතුළු සියලූම දෙනා කතා කරලා සහයෝගය ලබා දුන්නා. කොච්චර මිත‍්‍රකම් තිබුණත් අපිට එදා පක්ෂය ලොකු වෙලා තිබුණා. එදා අපි හරහට හිටියානම් එදායින් පස්සෙ පේ‍්‍රමදාස ජනාධිපතිතුමාට දේශපාලනයක් නැති වෙනවා. එදා මම කරපු එම සත්ක‍්‍රියාව හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහත්මා පවා ප‍්‍රසංසා කළා. එදා රණසිංහ පේ‍්‍රමදාස මහත්මා කිව්වේ මාව හදලා තියෙන්නේ ජේ. ආර්. ජයවර්ධනයන් බවයි. මා කවදාවත් එතුමාටවත් පක්ෂයටවත් පිටුපා යන්නේ නැහැ කියා පමණයි. එතුමාට ප‍්‍රශ්නයක් ඇති වුණොත් දේශපාලනයෙන් සමුගෙන යනවා මිස පක්ෂයට හතුරුකම් කරන්්නේ නැහැ කියාද එදා රණසිංහ පේ‍්‍රමදාස මහතා පැවසුවා. දැන් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ කකුලෙන් අදින එකයි. එහෙම වුණාම මොකද වන්නේ. පොහොට්ටුවට වාසි වෙනවා. අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සිටම වැටුන තැනින් ගොඩ එන්න ක‍්‍රමවේදය පෙන්නල දීල තියනවා.
 
අද මේ රජයට කඩාවැටීම දරාගන්න බැරුව බංකොලොත් වෙලා ඉවරයි. ආනයනය කරන කිසිවක් ආනයනය කරන්න බැහැ. අඩුම ගානේ ජංගම දුරකථනයක් වත් ආනයනය කරන්න බැරි තත්ත්වෙට අද පත්වෙලා. අද රටේ ගන්න කිසිම බඩුවක් නැහැ. ටිකෙන් ටික දිනෙන් දින සිඳී යනවා. දැන් අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කරන්න බැරිනම් නත්තල් කාලය වනවිට අවශ්‍ය බඩුවල හිඟයක් පවතිනවා. කිසිම පුද්ගලයෙකුගේ ආදායම වර්ධනය වෙලා නැහැ. අද හෝටල්වලට මංගල්‍ය උත්සවයක්වත් ලැබෙන්නේ නැහැ. හෝටල් සහමුලින්ම කඩා වැටිලා. බංකොලොත් තත්ත්වයට පත් වෙලා. මේ වනකොට කර්මාන්තශාලා බොහොමයක් වැහිලා. රැකි රස්සා අහිමි වෙලා. නේවාසිකාගාර වහලා. ආදායම් වැටිලා. මේකෙන් ගොඩ එන්න මේ අයට සැලසුමක් නැහැ. අපි බලයේ ඉන්න කාලේ පාස්කු බෝම්බය නිසා ඇතිවූ ව්‍යසනයෙන් මාස තුනක් යනකොට නැවත සංචාරක ව්‍යාපාරය නගා සිටුවා ගත්තා. ආර්ථිකය නග්ගලා අරගත්තා. කොරෝනා වලට ඇති වූ අර්බුධයෙන් මිලියන හතක් පමණ අහිමි වෙලා තියෙනවා. අද තියෙන්නේ අපි අනාගතය ඇති කරනවාද නැති කරනවාද කියන තීරණයයි. අපට විරුද්ධව ඡුන්දය දෙන්න සැරසෙන සියල්ලම වක‍්‍රව ම ඡුන්දය භාවිත කරන්නේ සහ උදව් කරන්නේ පොහොට්ටුව ඉදිරියට එන්නයි.
 

Rate this item
(0 votes)