April 17, 2024

ජනපති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය හමුවෙයි

කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු විය හැකි බැවින් වෛරසය පැතිරයාමේ අවදානම පාලනය කර, ජනතාව රැක ගැනීමේ අභියෝගය ජය ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් කොවිඩ් 19 ආසාදිතයන් පිරිසක් හමුවීමත් සමග උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය කිරීමට කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (14) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ඒ මහතා එම අදහස් පළ කළේය.

රජයට නායකත්වය දෙමින් තීරණ ගැනීම සහ සෑම අංශයක්ම දායක කරගැනීම යන ලක්ෂණ අභියෝග ජය ගැනීමට පාදක වූ බව ජනාධිපතිවරයා පැවසීය.

රටවල් 74ක සිටි පුද්ගලයන් 16,279 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙනැවිත් නිරෝධායනය කර නිවෙස් වෙත පිටත් කර තිබේ.එසේම මෙරට නිරෝධායන මධ්‍යස්ථාන 70ක් පවත්වා ගෙන ගියේය.

“නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපනයට සැලසුම් කිරීමේ දී ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතා පැමිණියා. ඉතාලිය, දකුණු කොරියාව ඇතුළු රටවලින් පැමිණි පිරිස නිරෝධායනයට යොමු කිරීමේ දී ඔවුන්ගෙන් විරෝධතා ආවා. ඉදිරියටත් කුමන බාධක පැමිණිය ද අභියෝග ජය ගනිමින් ජනතාව රැක ගැනීමේ වගකීම අත්හරින්නේ නෑ” ජනාධිපතිවරයා අවධාරණය කළේය.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් හමු වූ කොවිඩ් ආසාදිතයන්ගේ සමිපතමයන් හඳුනාගෙන නිරෝධායනට යොමු කර තිබේ. 

ඒ ආශ්‍රිත පොකුරු 4ක් දක්වා පුළුල් පරාසයක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත. 

"උද්ගත වූ තත්ත්වය පාලනය කිරීමට සමත් වූ අයුරින් ඉදිරියේ දී මතුවන අභියෝග ජය ගැනීමට රජය සැලසුම් කර තිබෙනවා," යනුවෙන් ද ජනාධිපතිවරයා පැවසීය.

Rate this item
(0 votes)