April 19, 2024

දැන් ඉන්න දේශපාලකයින්ට ජාතිය ගැන කැක්කුමක් නෑ

“2015 දි යහපාලන ආණ්ඩුව ජාත්‍යන්තර දේශපාලන සම්මුති පනත ගෙනාවා මුස්ලිම්වරුන්ගේ වුවමනාවට. ඒ පනත අනුව කුරානයේ ඇති අන්තවාදය පිළිබඳව අපිට කතා කරන්න බැහැ. ඒ ගැන කතා කළා කියලා පැමිණිල්ලක් දැම්මොත් මාස හයකට හිරේ යවනවා. මේ වනවිට මට නඩු 16 තියෙනවා, රට ජාතිය ගැන කතා කරලා . අන්තවාදීන් නිසා බංග්ලාදේශය, දකුණු තායිලන්තය, මියන්මාරයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා අසරණ තත්ත්වයට පත්වෙලා. බෞද්ධ ගම්මාන විනාශ කරනවා, අපේ රටේ තත්ත්වයත් හොඳ මදි. අපේ පෞරාණික ස්ථාන, පුරාවිද්‍යා බිම් රටේ නීතිය නොතකා ආක්‍රමණය කරමින් සිටිනවා. කූරගල, මුහුදු මහා විහාරය, අම්පාරේ මානික්කමඩුව, පොළොන්නරුව සෝමාවතී පුදබිමේ පරිවාර චෛත්‍යය 15 ක් විනාශ කරලා තියෙනවා. මේ චෛත්‍ය මත හරක්මඩු දාලා තියෙනවා කවුරුත් මේවා ගැන බලන්නේ නෑ,” බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙසේ ප්‍රකාශ කර සිටියේ තලාතුඔය කඳාකුල ප්‍රදේශයේ පැවැති ‘අපේ ජන බල පක්ෂයේ ‘ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායමට සහාය ලබා ගැනීමේ රැස්වීමක් අමතමිනි.

තවදුරටත් කතා කළ ඥානසාර හිමියෝ මෙසේද පැවසීය.

“පසුගියදා අපි ජනාධිපති කොමිසමට ගියාම දැනගත්තා මේ රටේ මුස්ලිම් අන්තවාදී බලවේග 2019 දී මහනුවර ඇසළ පෙරහැරට ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුම් කර තිබුණා කියලා. මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසි ගණනක් ආයුධත් සමග ඒ සඳහා සූදානම් කර තිබූ බව සහරාන්ගේ ගෝලයෝ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ප්‍රහාරයෙන් පසු සිංහල ගම්මාන 500 කට පහර දීමටත් සැලසුම් කර තියෙනවා. මුස්ලිම් අන්තවාදය ලේසි පහසු එකක් නොවෙයි, භූමිය ආක්‍රමණය කිරීම සඳහා අපිට හිතාගන්නවත් බැරි තරම් ධනස්කන්දයක් මේ රටට ගෙනත් තියෙනවා. අල් කයිඩා, අල් ජිහාඩ්, බොකොහරාම්, තලේබාන් වැනි සංවිධාන ලෝක මට්ටමින් ඇති කරලා ජිහාඩ්වාදය පතුරුවමින් ඉන්නවා. බැංකු, උසාවි, මද්‍රසා පාසල්, ඇති කරමින් වෙනම සංස්කෘතියක් ගොඩනංවමින් සිටිනවා. අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ තකතීරුවන් මඟින්ම පාසල් පෙළපොත්වලට අන්තවාදි ඉගැන්වීම් ඇතුල්කර තියනවා."

"අවුරුදු 72ක් මාරුවෙන් මාරුවට මේ රට කරවපු නිල්පාට කොළපාට බලවේග, පරිවාස ආණ්ඩු, සන්ධාන ආණ්ඩු කලින් කලට එක එක ලාංඡන, වර්ණ, තේමා පාඨ යටතේ ගොඩනැඟූ මේ සියලු ආණ්ඩු අද වනවිට රටට උදාකර ඇති තත්ත්වය කුමක් ද? රටේ ආරක්ෂාව වෙනුවෙන් සිංහලයාගේ ආරක්ෂාව වෙනුවෙන් නිවැරදි වැඩපිළිවෙළක් ගොඩනැඟීමටයි අපි ඡන්දේ ඉල්ලන්නේ.” ‘අනගාරික ධර්මපාල මාවතේ’ හසන් මාවත කියලා නම වෙනස් කරලා, මහනුවර ඇහැලේපොළ කුමාරිහාමි මාවතේ නම වෙනස් කරලා, මේක තමයි ආක්‍රමණය . බෞද්ධකම ආරක්ෂා කරන්න එදා සිට භික්ෂූන් වහන්සේලාට අයිතියක් තියෙනවා. දැන් ඉන්න දේශපාලකයින්ට ජාතිය ගැන කැක්කුමක් නෑ. කොහොමහරි වැඩි ඡන්ද ගාණක් අරගෙන ඇමැතිකමක් අරගන්නයි ඕනෑ."

Rate this item
(0 votes)