April 24, 2024

"මහින්දානන්ද හදපු නීතියක් නැහැ - ක්‍රීඩාවේ වංචා දූෂණ වළක්වන පනත ගෙනාවේ අපි"

ක්‍රීඩාවේ දූෂණ වංචා වැළැක්වීමේ පනත ගෙන එන ලද්දේ මහින්ද  රාජපක්ෂ පාලන සමයේදී නොව ඉකුත් එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ දී යැයි  හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

වසර දහයක්  රට පාලනය කළ මහින්ද රාජපක්ෂ පාලනයට එම පනත ගෙන ඒමට හැකියාවක් නොලැබුණු බවත් ඔවුන් සිදු කළේ සාකච්ඡා කිරීම පමණක් යැයි කටුගස්තොට නවයාලතැන්න දී පැවති ජන හමුවකදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව කීවේය.

නමුත් යහපාලන ආණ්ඩුවේ අවසාන අවස්ථාවේදී  මෙම පනත සම්මත කිරීමට හැකිවුණු බවත් පනත සම්මත කළ යුතුව ඇතැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය  හරීන් ප්‍රනාන්දු මහතා තමන්ට දැනුම් දුන් බව කී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

"ක්‍රිකට් තරගයක් පාවා දීමට හැකියාව තිබෙන්නේ ක්‍රීඩකයන්ට පමණයි. පිටියේදී ක්‍රීඩා කරන්නේ ඔවුන් පමණයි. පාර්ලිමේන්තුවේ අවසන් දිනයේදී සභා නායකවරයා වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ක්‍රීඩාවේ දූෂණ වංචා වැළැක්වීමේ පනත අපට සම්මත කිරීමට හැකි වුණා. තමන් නීති සකස් කළ බව මහින්දානන්ද අලුත්ගමගේ  මහතා ප්‍රකාශ කර තිබුණත් ඔහු නියෝජනය කළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව  සිදු කළේ නීති සකස් කිරීම නොව ඒ පිළිබඳව සාකච්ඡා කිරීම පමණයි. නමුත් පනතේ  පළමුවර, දෙවන වර කියවීම පවා සිදුකර එක් දිනකින් එය සම්මත කිරීමට අපිට හැකි වුණා. දැනට  අවුරුදු විස්සකට ප්‍රථමයෙන් සිදුවුණු දේවල් අද කවුරුත් දන්නේ නැහැ. පල්ලකැලේ  ජාත්‍යන්තර ක්‍රීඩාංගනය සකස් කිරීමට මූලාරම්භය ගත්තේ අපියි. මට ආයෝජන මණ්ඩලයෙන් අක්කර භාගයක ඉඩමක් ලැබුණා. එම ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් විශාල කර ගනිමින් මෙම ක්‍රීඩාංගනයේ ආරම්භක කටයුතු අපට සිදු කිරීමට හැකි වුණත් වසරකට පසු ආණ්ඩුව වෙනස්වීම හේතුවෙන් අපට එම කාර්යය අතරමඟ නවතා දැමීමට සිදුවුණා."යැයි හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)