April 20, 2024

IS ත්‍රස්ත අනතුර ගැන හිටපු ඇමැති සාගලට වාර්තාවක් දුන්නා

ශ්‍රී ලංකාවේ ස්ථානගත විය හැකි යැයි සිතූ අයි.එස්. ත්‍රස්ත ක්‍රියා වැළැක්වීම සඳහා අටවැදෑරුම් සංකල්ප පත්‍රිකාවක් සකස් කර එවකට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාට ලබාදුන් බව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ විශේෂ සාක්ෂිකරුවෙක් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේය.

මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ විශේෂ කාර්යාලයේදී රැස්විය.

විශේෂ සාක්ෂිකරු මෙසේද පැවැසීය.

මා විදේශ බුද්ධි ආයතන සහ මෙරට බුද්ධි අංශ අතර සම්බන්ධීකරණ කටයුතු සිදු කරනවා. එමෙන්ම විදේශීය රටවලට යොදා සිටින මෙරට බුද්ධි නිලධාරීන් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සමග එක්වී සම්බන්ධීකරණය කිරීම්ද සිදු කරනවා.

රජයේ නීතිඥ:- ජාතික බුද්ධි ප්‍රධානියාගේ රාජකාරි වගකීම පහදන්න.
සාක්ෂිකරු:- ලංකාවේ බුද්ධි අංශ සම්බන්ධීකරණය කිරීම සහ ලැබෙන බුද්ධි තොරතුරු ඉහළට වාර්තා කිරීමයි.

රජයේ නීතිඥ:- ජාතික බුද්ධි අංශ ප්‍රධානී කාර්යාලය පිහිටා ඇත්තේ කොහේද?
සාක්ෂිකරු:- ආරක්ෂක අමාත්‍යාංශයේ. අප භාවිතා කරන්නේ එම අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂ.

රජයේ නීතිඥ:- ලංකාවේ විවිධ බුද්ධි අංශ තිබෙනවා. ඒවායෙන් ලැබෙන සියලු තොරතුරු ඔබ විශ්ලේෂණය කරනවාද?
සාක්ෂිකරු:- අපි විශ්ලේෂණය කරන්නේ නැහැ. අපිට ලැබෙන්නේ විශ්ලේෂණය කළ තොරතුරු. අපි කරන්නේ එම තොරතුරුවලට අදාළ ඉදිරි පියවර ගැනීම පමණයි.

රජයේ නීතිඥ:- ඔබලා රැස්වීම් පවත්වනවාද?
සාක්ෂිකරු:- ආරක්ෂක අමාත්‍යාංශය මූලික වී සතිපතා සෑම අඟහරුවාදාම ආරක්ෂක කවුන්සිල රැස්වීමට පෙර සාකච්ඡාවක් පවත්වනවා.

රජයේ නීතිඥ:- ඔබ අදාළ ධුරය දරන විට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ කවුද?
සාක්ෂිකරු:- එවකට කටයුතු කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා.

රජයේ නීතිඥ:- 2019 අප්‍රේල් වනවිට ජාතික බුද්ධි සේවා ප්‍රධානියා ලෙස කටයුතු කළේ කවුද?
සාක්ෂිකරු:- 2015 ජනවාරි සිට ජුලි දක්වා ජාතික බුද්ධි සේවයේ කිසිවකු හිටියේ නැහැ. ඉන්පසු සිසිර මෙන්ඩිස් මහතා ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස පත්වූවා. ඔහු 2019 වසරේදිත් එම ධුරයේ හිටියා. මා කටයුතු කළේ එතුමා සමගයි.

රජයේ නීතිඥ:- ඔබ කලින් සඳහන් කළ රැස්වීම්වල න්‍යාය පත්‍රය සාදන්නේ කවුද?
සාක්ෂිකරු:- ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් මගින්. යම් බුද්ධි අංශයක් කතා කළ යුතු තොරතුරක් සම්බන්ධයෙන් අපට දන්වා සිටියහොත් අපි ඒ කරුණද න්‍යාය පත්‍රයට ඇතුළත් කරනවා.

රජයේ නීතිඥ:- ජාතික ආරක්ෂාව සම්බන්ධ යම් කරුණක් ගැන විශේෂයෙන් සාකච්ඡා කළ යුතු නම් ඒ ගැන ඉල්ලීම් කරන්නේ කොහොමද?
සාක්ෂිකරු:- ඒ අය ලිඛිතව ඉල්ලන්නේ නැහැ. බුද්ධි අංශ මගින් ආරක්ෂක ලේකම් වෙත දැනුම් දෙන විශේෂ බුද්ධි තොරතුරු ගැන අපි සාකච්ඡා කරනවා. ආරක්ෂක සමාලෝචන රැස්වීමට සියලු බුද්ධි අංශ සහභාගි වෙනවා. එය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙන්නේ. බුද්ධි අංශවලට අමතරව කොළඹ අපරාධ කොට්ඨාසය හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයත් එයට කැඳවනවා. පොලිස්පතිවරයා බොහෝවිට මීට සහභාගි වෙනවා.

රජයේ නීතිඥ:- ආරක්ෂක සමාලෝචන රැස්වීම් නිසි අයුරින් ක්‍රියාත්මක වුණේ නැත්තේ කොයි කාලයේද?
සාක්ෂිකරු:- 2017 සහ 2018 වසරවලදී මේ ආරක්ෂක සමාලෝචන රැස්වීම් නිසි ආකාරයෙන් පැවැතියේ නැහැ. ආරක්ෂක ලේකම්වරුන් කලින් කලට මාරුවීම හා ඔවුන්ට වෙන වෙන රාජකාරි පැවරීම නිසා එලෙස සිදුවීමට බලපෑවා වෙන්න පුළුවන්.

රජයේ නීතිඥ:- බුද්ධි සමාලෝචන රැස්වීම්වල සටහන් ගැනීම් සිදු කරනවාද?
සාක්ෂිකරු:- ඔව්. අපේ අංශය මගින් සටහන් ලබාගැනීම් සිදු කරනවා. අපි ඒ සටහන් පවත්වාගෙන යනවා.

රජයේ නීතිඥ:- 2015 සිට 2019 වසර දක්වා කාලවල පත්වූ ආරක්ෂක ලේකම්වරු නම් කරන්න.
සාක්ෂිකරු:- කරුණාසේන හෙට්ටිආරච්චි, කපිල වෛද්‍යරත්න සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් තිදෙනා පත්වුණා.

රජයේ නීතිඥ:- මේ ආරක්ෂක සමාලෝචන රැස්වීම්වලදී රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා පළමුවෙන්ම කථා කිරීමට විශේෂ හේතුවක් තිබේද?
සාක්ෂිකරු:- රටේ ආරක්ෂාවට සම්බන්ධ සියලු බුද්ධි තොරතුරු ලබාගැනීමේ හැකියාව තිබෙන්නේ රාජ්‍ය බුද්ධි සේවාවට නිසා බොහෝවිට මූලිකත්වය දෙන්නේ එයටයි.

රජයේ නීතිඥ:- රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා යවන ලිපියකට අදාළව ජාතික බුද්ධි අංශ ප්‍රධානියාට උපදෙස් ලබාදිය හැකිද?
සාක්ෂිකරු:- තොරතුරක් ලබාදෙන විට අංශ ප්‍රධානියාගේ අත්සන තබනවා නම් ඒ එවන බුද්ධි තොරතුරු විශ්වාසනීය විය යුතුයි.
විදේශීය බුද්ධි අංශ ලබාදෙන්නේ ඉතාමත් නිවැරදි තොරතුරු පමණයි. එය රාජ්‍ය තාන්ත්‍රික පියවරක ප්‍රතිඵලයක්. එහි වැදගත්කම ඉහළ අගයක් ගන්නවා.

ඉතා කෙටි කාලයක් තුළ ඕනෑම වේලාවක ලංකාවේ බෝම්බ පිපිරීම් සිදුවිය හැකි බව ඉන්දියාව එවූ බුද්ධි තොරතුරේ සඳහන් වෙනවා. එම ප්‍රහාරය එල්ල කළ හැකි සංවිධාන හා පුද්ගලයන්ගේ නම් පවා එම ලිපියේ තිබෙනවා. ඒ නිසා ඒ බුද්ධි තොරතුර සම්බන්ධයෙන් අපේ රජය ඉක්මන් ක්‍රියාමාර්ග ගත යුතු බව ඉන්දීය තොරතුරු මගින් අවධාරණය කර තිබෙනවා.

එම ප්‍රහාරය කතෝලික පල්ලිවලට එල්ල විය හැකි බව සහ ප්‍රහාරය එල්ල කරන ආකාරය ගැන ප්‍රහාරකයන් හඳුනාගෙන තිබෙන බවත් ඉන්දියාව ලබාදුන් බුද්ධි තොරතුරේ සඳහන්.

රජයේ නීතිඥ:- ඉන්දීය බුද්ධි තොරතුර හුදෙක් තොරතුරක් පමණ ද? නැතිනම් බුද්ධි තොරතුරක් ද?
සාක්ෂිකරු:- ඉන්දියාව ලබා දුන්නේ බුද්ධි තොරතුරක්. එවැනි බුද්ධි තොරතුරු අපට විශ්ලේෂණය කිරීමට ඇති හැකියාව අඩුයි.

රජයේ නීතිඥ:- රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියකු වූ නිලන්ත ජයවර්ධන සහ ජාතික බුද්ධි අංශ ප්‍රධානියා වූ සිසිර මෙන්ඩිස් පෞද්ගලිකව හමු වී ඉන්දීය බුද්ධි තොරතුර ගැන සාකච්ඡා කර තිබේද?
සාක්ෂිකරු:- විශේෂ සාකච්ඡා පවත්වනවා දැක නැහැ. හමුදා බුද්ධි අංශ ප්‍රධානීන් පැමිණ සාකච්ඡා කරනවා මා දැක තිබෙනවා.

රජයේ නීතිඥ:- ඉන්දීය බුද්ධි තොරතුරට අදාළ ලිපිය සම්බන්ධයෙන් ජාතික බුද්ධි සේවා ප්‍රධානියාට කළ හැක්කේ කුමක් ද?
සාක්ෂිකරු:- පොලිස්පතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා දැනුම්වත් කර අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම්දීමයි කළ හැක්කේ.

රජයේ නීතිඥ:- මේ ලිපිය මඟින් පොලිස්පතිවරයාගේ අවධානයට යොමු  කර ඇත්තේ කුමන කරුණු ද?
සාක්ෂිකරු:- නීතිය බලාත්මක කරන ආයතන දැනුම්වත් කර බුද්ධි තොරතුර සම්බන්ධයෙන් සුපරික්ෂාකාරීව සිටිය යුතු බව.

රජයේ නීතිඥ:- රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂට ජනාධිපතිවරයා සමග ඍජුව සම්බන්ධ වී කතා කළ හැකි ද?
සාක්ෂිකරු:- එවැනි සම්ප්‍රදායක් තිබෙනවා. නමුත් මා එවැනි අවස්ථා දැක නැහැ.

රජයේ නීතිඥ:- ජාතික බුද්ධි සේවා ප්‍රධානියාට ජනාධිපතිවරයා ඍජුව සම්බන්ධ කරගත හැකි ද?
සාක්ෂිකරු:- නිල බලයක් නැහැ. පෞද්ගලික සම්බන්ධතා මත ජනාධිපතිවරයා සමඟ කතා කළ හැකියි.

රජයේ නීතිඥ:- ජාතික බුද්ධි සේවය හා අනිකුත් බුද්ධි අංශ අතර නිසි සම්බන්ධීකරණයක් නොතිබුණොත් මොනවාද වෙන්නේ?
සාක්ෂිකරු:- එය ඍජුව බලපාන්නේ ජාතික ආරක්ෂාවටයි. අන්තවාදී කණ්ඩායම් සුළුවෙන් තමයි ඔවුන්ගේ කටයුතු කරමින් සිටියේ. එවැනි වාතාවරණයක් හමුවේ රට තුළ සාමකාමී පරිසරයක් පවත්වාගෙන යෑමට බුද්ධි අංශ නිසි ලෙස සම්බන්ධීකරණය කර තිබිය යුතුයි.

රජයේ නීතිඥ:- අයි.එස්. තර්ජන මැඩලීමට මෙරට තුළ බුද්ධි අංශ සංකල්ප පත්‍රිකාවක් හැදුවා ද?
සාක්ෂිකරු:- එම කාලයේ අපට ලැබුණු බුද්ධි තොරතුරු මත අපි සංකල්ප පත්‍රිකාවක් හදලා ඒ තොරතුරු ආරක්ෂක ලේකම් වෙත ඉදිරිපත් කළා.

රජයේ නීතිඥ:- හිටපු ආරක්ෂක ලේකම්වරයකු වූ කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එවකට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාට අයි.එස්. ත්‍රස්තවාදීන් ලංකාව තුළ සිදු කරාවි යැයි සිතූ කටයුතු ගැන ලේඛනයක් ඉදිරිපත් කර ඇත. ඒ හරහා අවධානය යොමුකර තිබුණේ කුමන කරුණු ගැන ද?
සාක්ෂිකරු:- මේ තොරතුරු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා සහ බුද්ධි අංශ අතර එවකට විශේෂ සාකච්ඡාවක් පවත්වා එම සංකල්ප පත්‍රිකාව හැදුවා.

රජයේ නීතිඥ:- අයි.එස්. තර්ජන ගැන එම සංකල්ප පත්‍රිකාවේ ඇතුළත් වන්නේ මොනවාද?
සාක්ෂිකරු:- ඒ වනවිට මෙරට තුළ ක්‍රමිකව අන්තවාදී ක්‍රියාවල වර්ධනයක් ඇතිවී තිබුණා. සිරියාව හා ඉරාකය තුළ අයි.එස්. ක්‍රියාකාරකම් වැඩි වුණා. ලංකාව වෙත එම තත්ත්වය කෙලෙස බලපාවිදැයි තක්සේරු කළා. ඒ අනුව දේශීය තත්ත්වය තක්සේරු කර අපට තර්ජනයක් තිබේ නම් ගත යුතු ක්‍රියාමාර්ග ගැන මේ සංකල්ප පත්‍රිකාව හැදුවා.

විනිසුරු මඩුල්ල:- ලංකාව තුළ නිරීක්ෂණය වූ අන්තවාදී ක්‍රියා මොනවාද?
සාක්ෂිකරු:- සමාජ මාධ්‍ය ජාලවල විවිධ අන්තවාදී තොරතුරු සංසරණය වී තිබුණා. එමෙන්ම මෙරට තුළ අන්තවාදී දේශන පවත්වා තිබුණා. බුර්කා හා නිකාබ් ඇඳීම සම්බන්ධයෙන් විවිධ සිදුවීම් වුණා. හලාල් ප්‍රශ්නය තිබුණා. ඒ අනුව අයි.එස්. මතවාදය මෙරටට පැමිණීමේ වාතාවරණයක් සකස් වී තිබුණා. තවුහිද් සංකල්පය යටතේ සහරාන්ලා සහ රිල්වාන්ලා සිටිමින් ගෙන ගිය අන්තවාදී ප්‍රචාරණයන්ට මුස්ලිම් තරුණ පරපුර නැඹුරු වීමට ඉඩ තිබුණා. එමෙන්ම මුස්ලිම් තරුණයන් අවි අතට ගත යුතු බව සහරාන්ලා පවසා තිබුණා.

රජයේ නීතිඥ:- විදේශ රටවල දී විවිධ පුහුණුවීම් ලැබූ මුස්ලිම් අන්තවාදීන් ලංකාව හරහා දකුණු ආසියාතික රටවලට යා හැකිව තිබුණු බව ඔබලා අවධාරණය කළා ද?
සාක්ෂිකරු:- ඔව්. කරුණු අටක් යටතේ අපි තොරතුරු ඉදිරිපත් කළා. ලංකාවේ සියලු බුද්ධි අංශ එකතුවී තොරතුරු හුවමාරු කර ගැනීමේ යාන්ත්‍රණයක් ගැන ද කතා කළා යැයි පැවැසීය.

සයින්දමරදුහි සිදුවූ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී සොයාගනු ලැබූ මුස්ලිම් කාන්තාවන් යොදා යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු කිරීම සඳහා භාවිතයට ගැනීමට තිබූ බව පැවසෙන සුදු පාටින් යුක්ත කාන්තා ස්කර්ට් හා සායවල් අටක් සම්බන්ධයෙන් සාක්ෂි විමසීමේ කටයුතු ද ඊයේ (7) මෙම ජනාධිපති කොමිසම හමුවේ සිදු කෙරුණි.

එම ඇඳුම් මුස්ලිම් කාන්තාවන් තිදෙනකුට විකුණා ඇති කොළඹ කුරුණෑගල අංක 5 මාර්ගයේ ගිරිඋල්ල නගරයේ ඇඳුම් සාප්පුවක වෙළෙඳ සහායකවරයකු ලෙස කටයුතු කරන නුවන් බණ්ඩාර නවරත්න මහතා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් මෙසේ පැවැසීය.

රජයේ නීතිඥ:- 2019 අප්‍රේල් 19 වැනි දින සවස් වරුවේ මුස්ලිම් කාන්තාවන් තිදෙනකු හා තවත් පුද්ගලයකු ඔබ සේවය කළ කඩයට ආවාද?
සාක්ෂිකරු:- ඔව්. සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරගත් බුර්කාවන් පැළඳි කාන්තාවන් තිදෙනකු හා මුස්ලිම් ජාතිකයකු කඩයට ආවා.

රජයේ නීතිඥ:- ඔවුන් කඩයට ආපු ගමන් කුමක් ද කළේ?
සාක්ෂිකරු:- කඩයේ සුදු ඇඳුම් තිබෙන ස්ථානයට ආවා. වෙසක් සතිය වෙනුවෙන් අලුතින් දමා තිබුණු සුදු ඇඳුම් තෝරන්න ගත්තා.

රජයේ නීතිඥ:- එම මුස්ලිම් කාන්තාවන් සාම්ප්‍රදායික මුස්ලිම් ඇඳුම් ගැන කඩෙන් විමසීමක් කළා ද?
සාක්ෂිකරු:- එලෙස විමසීමක් කළේ නැහැ.

රජයේ නීතිඥ:- මොනවද එම කාන්තාවන් මිල දී ගත් ඇඳුම්?
සාක්ෂිකරු:- බ්ලවුස් 9 ක්. ඒවා එම කාන්තාවන්ට වඩා ඉතා විශාල බ්ලවුස් බව මා දැක්කා. ඒ වගේම ස්කර්ට්ස් 9ක් ඇතුළු තවත් භාණ්ඩ මිල දී ගත්තා. ඒවායේ වටිනාකම රුපියල් 29000කට වැඩියි.

විනිසුරු මඩුල්ල:- තේරීමක් කරලද එම මුස්ලිම් කාන්තාවන් ඇඳුම් මිල දී ගත්තේ.
සාක්ෂිකරු:- එක පාරටම ගත්ත ඇඳුම් තමයි මිලදී ගත්තේ යැයි සඳහන් කළේය.

මෙම ජනාධිපති කොමිසම හමුවේ මොනරාගල පොලිස් අධිකාරි කාර්යාලයට අනුයුක්ත අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලයනල් සමරවීර මහතා ද සාක්ෂි ලබා දුන්නේය.

Rate this item
(0 votes)