April 23, 2024

නාකොටික් IP ඇල්ලූ කතාව අලුත් වෙයි

මත්ද්‍රව්‍ය ජාවරාම් වල නිරත වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 15 දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගැනුණු අතර ඊට අනුබල දුන් බව කියන එම කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයා සොයා පොලිසිය මෙහෙයුමක් දියත් කරනු ලැබීය.

එවන් පසුබිමක අදාළ චෝදනාව එල්ල වූ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර තමා පැමිණ භාර වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ලමාහේවා මහතාට දුරකථන ඇමතුමක් දෙමින් දන්වා තිබුණි.

මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ නාකොටික් IP සමන් වසන්ත මහතා ඊයේ පෙරවරුවේ ගමන් මළු දෙකක් ද රැගෙන කඩවත ඉඳිගහමුල හන්දියේ සිටින බවට  තොරතුරක් ලැබී එහි ගිය පොලීසිය දුටු විට හඬා වැටුණු බව වාර්තා වේ.

ඩුබායි සිට මෙරටට එවනු ලැබූ හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 243 ක් වැටලීමේ මෙහෙයුමට නායකත්වය දී තිබුණේද මෙම සැකකාර නිලධාරියා බව විමර්ශනවලින් හෙළිවී ඇත.
 
එම හෙරොයින් තොගය මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බෝට්ටුකරුට රුපියල් කෝටියකට ආසන්න මුදලක් ලබාදී ඇත්තේද මෙම නිලධාරියා ඇතුළු අනෙක් සැකකරුවන් පස් දෙනා බව පොලිසිය පවසයි.
 
මෙම හෙරොයින් තොගය සමග බෝට්ටුවෙන් රැගෙන ආ ගිනි අවි හයෙන් එකක් මෙම නිලධාරියා විසින් ලබාගෙන තිබූ අතර ඉන් එක් ගිනි අවියක් සැකකාර පොලිස් පරීක්‍ෂකවරයා පදිංචි වැලිවේරිය නිවසට යාබද නිවසක සඟවා තිබියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබිණි.
 
බේරුවල ප‍්‍රදේශයේදී එම හෙරොයින් තොගය තමන් භාරයට ගෙන ඉන් රුපියල් කෝටි සියයකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් කිලෝ 90 ක් සොරාගෙන ඇත්තේ මෙම සැකකාර නිලධාරියා ඇතුළු කණ්ඩායම විසින් බවද අනාවරණය වී තිබේ.
 
පසුව ඉතිරි හෙරොයින් තොගයට වෙනත් ද්‍රව්‍ය කලවම් කර කිලෝ ග‍්‍රෑම් 243 ක් සකස් කර එම හෙරොයින් තොගය වැලිසර ප‍්‍රදේශයට රැගෙන ගොස් ඒවා අත්අඩංගුවට ගෙන ඇත්තේද මෙම පොලිස් පරීක්‍ෂකවරයා සහ මේ වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පොලිස් නිලධාරීන් පස්දෙනා බවද පොලිසිය පවසයි.
 
පසු ව පොලිස් භාරයට ගත් ඔහුව CID යට භාරදීමෙන් පසු මේ වන විටත් ප්‍රශ්න කෙරෙමින් සිටී.

Rate this item
(0 votes)