April 23, 2024

සංචාරක මණ්ඩලයේ මහා මිනිස් ජාවාරමක්

සංචාරක අමාත්‍යාශය සහ සංචාරක මණ්ඩලය එක්ව සිදු කරනා ලද මහා මිනිස් ජාවාරමක තොරතුරු මේ වනවිට අධිකරණය හමුවේ අනාවරණය වී ඇත.  පුද්ගලයන් හතර දෙනකුගෙන් රුපියල් ලක්ෂ විස්ස  බැගින් ලක්ෂ අසුවක මුදල් ලබාගෙන  කැනඩාවට නීති විරෝධී ලෙස සංක්‍රමණය කරවීමේ ජාවාරමක් එලිදරව් වී ඇත්තේ අමාත්‍යංශයේ අතිරේක ලේඛම් දීපා ලාලනී සන්නසුරිය මහත්මියගේ මැදිහත්වීම මතය. 

මෙම  ජාවාරමට ඍජුව සම්බන්ධවූ බවට සැක කරනා හිටපු අමාත්‍යවරයාගේ පුද්ගලික ලේඛම් ලාල් රත්නායක සහ රහීම් බායි යන අය අත්අඩංගුවට නොගෙන සිටීම සම්බන්ධයෙන් කොටුව අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ දැනට විමර්ශන කටයුතුවල යෙදී සිටිනා නිලධාරීන් ඉවත් කර වෙනත් නිලධාරීන් පිරිසක් පත් කරන ලෙසය. 

අදාළ අපරාධය සම්බන්ධව හිටපු අමාත්‍යවරයාගේ ලේඛම්වරියන් දෙදෙනකු වන ධනංජනී ජයශාන්ති සහ සුජීවා නන්දනී යන අයවලුන් රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

මේ සම්බන්ධව සිදු කරන ලද විමර්ශනයේදී හෙළිදරවු වුයේ මිනිස් ජාවාරම කලෙක පටන් සංචාරක මණ්ඩලයේ දුෂිත නිලධාරීන් පිරිසක් එකතුව සිදුකරන කටයුත්තක් බවය. 

පසුගිය යහපාලන රජය විසින් සංචාරක මණ්ඩලයට පත්කරනා ලද අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයකු මෙම මිනිස් ජාවාරම සදහා පරිසරය සකසන බව අප වෙත වාර්තා වේ. යුරෝපයේ කුඩා රාජ්‍යයන් කිහිපයක ඉහල මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා සහිත මෙම අධ්‍යක්ෂකවරයා එම රටවල සංචාරක ප්‍රදර්ශන ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ මුදලින් සංවිධානය කිරීමට මණ්ඩලය පොළඹවනු ලබයි. එම රට වලින් වසරකට සංචාරකයන් දෙතුන් දහසක් වත් පැමිණෙන්නේ නැති වුවද යහපාලන රජය පැවති කාලය පුරාවටම ඩොලර් මිලියන ගණනාවක විදේශ විනිමය කාබාසිනියා කරමින් එම රටවල ප්‍රදර්ශන පවත්වනුයේ මිනිස් ජාවාරමට සුදුසු පරිසරයක් තනා ගැනීම සහාය. 

මෙම ප්‍රදර්ශන සුවිශේෂී ගුණාංගයන්ගෙන් යුක්තය. එක රටක නගර කිහිපයක ප්‍රදර්ශන පැවැත්වීම මුල්‍ය වශයෙන් ලාභ දායක වුවද සංචාරක මණ්ඩලයේ නිලධාරීන් කරනුයේ රටවල් රැසක එක දිගට රජයේ මුදලින් ප්‍රදර්ශන පැවැත්වීමය. අනතුරුව එම නිලධාරීන්ගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් පමනක් නොව අනියම් සැමියන් සහ බිරින්දෑ වරුන්ගේ නමින්ද  ලියාපදිංචි කර ඇති සංචාරක නියෝජිතායතන හරහා එම සංචාරක ප්‍රදර්ශන සදහා සහභාගී වීමට බව හගවමින් විවිධ පුද්ගලයනට යුරෝපිය රට වලට විසා ලබා දී මුදල් ගරා ගැනීම සිදු කරති. මෙම ව්‍යාජ ප්‍රදර්ශන එක දිගට රටවල් හතරක පමණ පවත්වන අතර එක රටකට එක  බැගින් විසා හතරක් නිකුත් කොට රුපියල් ලක්ෂ අසුවත් සියයත් අතර මුදලක් පෙර කී අධ්‍යක්ෂක වරයා ඇතුලු ජාවාරම් කරුවන් අතර බෙදා ගනිති. 

සංචාරක මණ්ඩලය මගින් මෙම ජාවාරම් කරුවන් සම්බන්ධව පරීක්ෂණ සිදු කලයුතු මෙන්ම ඔවුන් සම්බන්ධව අදාළ රටවල තානාපති කාර්යාල දැනුවත් කිරීමද සිදු කල යුතුය.

නමුත් කනගාටුවට කරුණ නම් සිස්ටම් චේන්ජ් ගැන නිතර කතා කරනා සංචාරක මණ්ඩල සභාපතිනිය විසින් තමාගේ නව අධ්‍යක්ෂක මණ්ඩලයටද මෙම ජාවාරම් කරුවා බදවාගෙන තිබිමය.

මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු විමසීමට සභාපතිවරිය සම්බන්ධ කර ගැනීමට උත්සහ කලද එම උත්සාහය ව්‍යර්ථ විය.

Rate this item
(2 votes)