April 25, 2024

නවතම හෙලිදරව්වකට අනුව වාතයෙනුත් කොරෝනා බෝ වීමට පුළුවන්

වාතයේ තිබෙන කුඩා අංශුවල නව කොරෝනා වයිරසය ඇතැයි විද්‍යාඥයන් සිය ගණනක් උපුටා දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ 'ද නිව්යෝක් ටයිම්ස්' පුවත්පත වාර්තා කර ඇත.

එම පුවත්පත මේ බව අනාවරණය කර ඇත්තේ සෙනසුරාදා ය.

වාතයේ තිබෙන කුඩා අංශුවල නව කොරෝනා වයිරසය ඇති බවට සාක්ෂි ඇතැයි ද එබැවින් වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා දැනට දී ඇති නිර්දේශ අලුත් කරන්නැයි ද එම විද්‍යාඥයන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා ඇත.
 
කටින් හෝ නාසයෙන් පිටවන කෙළ බිඳිතිවලින් නව කොරෝනා වයිරසය පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට බෝවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මුල සිට ප්‍රකාශ කළේය. ඒ අනුව 'කොවිඩ්-19' වයිරස ආසාදිත පුද්ගලයකු කහින විට, කිවිසුම් යවන විට කෝ කතා කරන විට එම පුද්ගලයාගේ නාසයෙන් කටින් පිටවන කෙළ බිඳිතිවලින් නව කොරෝනා වයිරසය අන් පුද්ගලයන්ට ආසාදනය වන එම සංවිධානය සඳහන් කළේය.
  
රටවල් 32 ක විද්‍යාඥයන් 239 එක් වී මෙම අධ්‍යයනය කර තිබෙන අතර ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානයට විවෘත ලිපියක් ද යවා ඇත. ඔවුන්ගේ මෙම නව සොයාගැනීම ලබන සතියේදී විද්‍යා ජර්නලයක පළ කිරීමටද නියමිතය.
 
 ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් තවමත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

Rate this item
(1 Vote)