April 25, 2024

කොස්ගොඩ තාරකට ඇප

ගිනි අවි පෙන්වා සේවකයන් බියගන්වා අලුත්ගම ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කොට සිටි ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක නමැත්තා ඇප මත මුදාහරින ලෙස කළුතර මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස පසුගිය (03දා) නියම කළේය.

ඒ අසේල කුලරත්න සහ ශම්මි තාබෲ යන නීතිඥවරුන්ගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ කනිෂ්ක වන්නිආරච්චි විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද ඇප අයැදුම සලකා බැලීමෙන් අනතුරුවය.

රුපියල් 25,000ක ඇප හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 05ක් මත මොහු මුදාහරින ලෙස විනිසුරුවරයා නියම කරන ලදී. මෙම ඇපකරුවන් දෙදෙනකු මොහුගේ සමීප ඥාතීන් විය යුතු බවත්, අනෙක් තිදෙනා රජයේ හෝ පෞද්ගලික අංශයේ ස්ථිර මාණ්ඩලික සේවයේ රාජකාරි කරන මසකට රුපියල් 65000ට වැඩි මූලික වැටුපක් ලබන අය විය යුතු බවත් විනිසුරුවරයා ප්‍රකාශ කරන ලදී.

2018 වසරේ ජනවාරි මස 10 වැනි දින ගිනි අවි පෙන්වා අලුත්ගම ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසලකින් රුපියල් 348400ක් වටිනා මුදල් හා ස්වර්ණාභරණ ​කොල්ලකෑමේ සිද්ධියට අදාළව මොහු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කොට තිබුණි. මාතර ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ලකා පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධියට හා අලුත්ගම හෝටලයකදී බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ සිද්ධියට අදාළවද මොහු රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මෙහිදී මොහුට ඇප ලබාදීමට විරුද්ධ විය.

කළුතර අධිකරණ සංකීර්ණය අසල පසුගිය (03දා) දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබූ අතර සැකකාර කොස්ගොඩ තාරක නමැත්තා ආරක්ෂක හේතූන් මත 03දා අධිකරණයට ඉදිරිපත් නොකරන ලදී.

සැකකරු වෙනුවෙන් කනිෂ්ක වන්නිආරච්චි, අසේල කුලරත්න සහ ශම්මි තාබෲ යන නීතිඥවරුන් පෙනී සිටියහ.

Rate this item
(2 votes)