April 20, 2024

ආගමික ස්ථානවල මැතිවරණ ප්‍රචාරණයේ යෙදීමෙන් ජයග්‍රහණය කළත් මන්ත්‍රීධූරය අහෝසි විය හැකියි - මහින්ද දේශප්‍රිය

රාජ්‍ය දේපළ භාවිත කරමින් සහ ආගමික ස්ථානවල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වීම හරහා මැතිවරණයෙන් තේරී පත්වීමෙන් පසුව වුවද අපේක්ෂකයින්ගේ මන්ත්‍රී ධුර අහිමි වීමේ අවදානමක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

අද දෙරණට අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා මෙසේ ද පැවසීය.

"ආගමික ස්ථානවල හා පූජනීය ස්ථානවල පැවැත්වෙන උත්සවවලදී පක්ෂ අපේක්ෂක කණ්ඩායම් ප්‍රවර්ධනය 1981 අංක 1 පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 79 වැනි වගන්තිය යටතේ බරපතළ වරදක්. අපි තදින්ම අපේක්ෂකයින්ට අවවාද කරනවා, මේ දේ කළොත් ජයග්‍රහණය කළද මන්ත්‍රී ධූරය අහෝසි විය හැකියි. හිටපු නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙකුට තවමත් රජයේ වාහන ඇති බවට පැමිණිලි ලැබුණා. රාජ්‍ය දේපළ අයුතු පරිහරණයෙන් වළකින්න. එයද බරපතළ මැතිවරණ දූෂණයක්."

Rate this item
(0 votes)