March 29, 2024

"අපරාධ ගැන තොරතුරු ඉල්ලා මාස දෙකයි.. තවම ඒවා ලැබුණේ නැහැ" ආරක්ෂක ලේකම්‌ගෙන් පොලීසියට රතු එළියක්

පොලිස් බල ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වන පාතාල සහ මත්ද්‍රව්‍ය ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට මාස දෙකකට අධික කාලයක් ගත වුවත් එය මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් සොයා බලන ලෙසට ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.
 
ආරක්‍ෂක අමාත්‍යාංශය ඒ ඒ පොලිස් බල ප‍්‍රදේශවල සිදුවන පාතාල සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙසට පසුගිය අපේ‍්‍රල් මස 05 වැනිදා ලිපියක් යොමු කරමින් කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරුන් හරහා පොලිස්පතිවරයා වෙත ලබාදෙන ලෙසට දන්වා තිබිණි.
 
නමුත් මෙතෙක් අදාළ තොරතුරු නොලැබීම පිළිබඳව සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබා ගන්නා ලෙසට ආරක්‍ෂක ලේකම්වරයා පොලිස්පතිවරයාට මෙසේ උපදෙස් දී ඇත.
 
ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් හෝ පොලිස්පති කාර්යාලයෙන් යම් උපදෙසක් ලැබූ විට එය යම් සංස්ථාවක හෝ රජයේ අනිකුත් ආයතනයකින් ලැබුණු උපදෙසක් ලෙස නොසිතන ලෙසත්, ජාතික ආරක්‍ෂාවට වගකියන නිලධාරීන් පිරිසක් විදිහට මහජනතාවට නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කරන පොලිසිය ප‍්‍රධාන තැනක් ගන්නා බවත් ආරක්‍ෂක ලේකම්වරයා පෙන්වා දෙයි.
 
 සියලූම පළාත්වල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් සමඟ ආරක්‍ෂක අමාත්‍යාංශයේ පෙරේදා (29) පැවති සාකච්ඡාවකදී එසේ සඳහන් කළ ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් මෙසේද කීවේය.
 
"මත්කුඩු ජාවාරම්, කප්පම් ගැනීම්, පාතාල ක‍්‍රියාකාරකම්, ගස් කැපීම්, ගණිකා මඩම්, වැලි ගොඩ දැමීම් සහ අනෙකුත් නීතිවිරෝධී ක‍්‍රියා මහා පරිමාණයෙන් සිදුවනවා නම් ඒ පළාත භාර උසස් පොලිස් නිලධාරීන් තම නිල ඇඳුමක් ඇද සිටීම පිළිබද ලජ්ජා විය යුතුයි. තමන් රාජකාරී කරන ප‍්‍රදේශවල විවිධ බලවේගවලට යටත් නොවී, තම නිල ඇඳුමේ ගෞරවය රැක ගැනීමට නම් මෙවැනි නීතිවිරෝධී සිද්ධීන් සිදුවීමට ඉඩදෙන්න එපා. මේ සිදුවන වැරදිවලින් ඒ ඒ පළාත්වල සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සිට පොලිස් ස්ථානාධිපතිවරුන් දක්වා සියලූම පොලිස් නිලධාරීන්ට තමන්ගේ අත් සෝදා ගන්න බෑ. ඒ සියලූ දෙනාම අදාළ පළාත්වල අපරාධ වැඩිවීමට වගකිව යුතුයි.
 
රටේ ඕනෑම ව්‍යසනයකදී පෙරට එන්නේ හමුදාව. ඒ වගේම රටේ ජනතාවගේ හද ගැහෙන රාවය හඳුන්නේ මෙන්ම ඒ අයගේ ජීවිත ගැන වගකියන්නේත් පොලිසියයි. බොහෝ පොලිස් නිලධාරීන් ඉතා ගෞරවාන්විත සේවයක් ඉටු කිරීම ගැන අගය කරනවා. නමුත් සමහර නිලධාරීන් පොලිස් සේවයට අගෞරවයක් ලෙස හැසිරීම කණගාටුවට කරුණක්. බොහෝ පොලිස් කොට්ඨාසවල තියෙන පොලිස් බල ප‍්‍රදේශවල මහජනතාවගෙන් පොලිසියේ අකාර්යක්‍ෂමතාව ගැන සහ ප‍්‍රදේශයේ අපරාධකරුවන් සමඟ එම නිලධාරීන් පවත්වන සම්බන්ධතාවයන් පිළිබඳව තමන්ට ලිපි ලැබෙනවා. මෙම සිදුවීම්වලට අදාළ පොලිසිවලට අයත් උසස් නිලධාරීන් මෙහි ඉන්නවා නම් ලැජ්ජා විය යුතුයි. සමහර පොලිස් ස්ථානවල ආරක්ෂාව යටතේ කිසිදු බියක් සැකයක් නැතිව වෙලාවක් නොමැතිව මත් කුඩු ජාවාරම් පවත්වාගෙන යනවා.
 
සියලූම දෙනාම තම රාජකාරිය නිසියාකාරව කරන්න. කවුරුන් හෝ රාජකාරිය කරන්න ඉඩ දෙන්නේ නැත්නම් මට කියන්න. තම බල ප‍්‍රදේශය කුමන දේශපාලන පක්‍ෂයකට අයත් වුණත් මහජනතාවට හිරිහැර කරන්න ඉඩ දෙන්න බැහැ. ප‍්‍රදේශය භාර පොලිස් අධිකාරීවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් මේවා ගැන බලන්න ඕන. පුද්ගලික නාම, ලාභ, වාසි ලබාගෙන දේශපාලනයට යටත් වෙලා වැඩකරන දේශපාලකයෙක්ගෙන් ‘හොඳ පුතා’ කියල අහගත්තා කියලා කිසිම නිලධාරියෙක් වැදගත් නිලධාරියෙක් වෙන්නේ නැහැ. එම නිසා පොලිස් අධිකාරීවරුන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් යටතේ පොලිස් ස්ථාන දොළහක් තියෙනවා නම් ඒ ස්ථානාධිපතිලා දොළොස් දෙනා ඒ ප‍්‍රදේශවල සිදුවන අපරාධවලට වගකිව යුතුයි. කිසිම වගකීමක් නැති නිලධාරියෙක් ඉන්නවා නම් මට හෝ පොලිස්පතිවරයාට දැනුම් දෙන්න.
 
ජනාධිපතිවරයාගේ මැතිවරණ ප‍්‍රකාශනයේ ප‍්‍රධාන කාරණා 10 ක් තිබෙනවා. එයින් ප‍්‍රධාන තැනක් ගන්නේ ජාතික ආරක්ෂාවයි. සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණවත් හා නීත්‍යානුකූල සාමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ අරමුණත් සෑම ශ‍්‍රී ලාංකිකයෙකුටම නිදහසේ බියෙන් සැකෙන් තොර රටක් ඇති කිරීමයි. කඩුවෙල ගොටුකොළ විකුණන අම්මා කෙනෙකුගෙන් රු. 5000 ක කප්පමක් ගන්නවා. අනේ ලේකම්තුමා මෙහෙ පොලිසියට කිව්වට වැඩක් නෑ කියල මට දුරකථන ඇමතුම් ආවා. අවුරුදු 60 - 70 ක අම්මා කෙනෙකුට කප්පමක් දෙන්නෙ නැතිව ගොටුකොල මිටියක්වත් විකුණන්න බැරිනම් අපි කොහොමද රටේ ආරක්ෂාව හෝ පොලිසිය ගැන කතා කරන්නේ? මේ රටේ ජනතාවට පාතාල, කසිප්පු, කුඩු, පගා ගැහිලි, කප්පම් නැතිව නිදහසේ ජීවත්වීමට හැකි රටක් ඇති කිරීමට පොලිසියට විශාල වගකීමක් තිබෙනවා."
 

Rate this item
(1 Vote)