April 20, 2024

නවක වධය නිසා සරසවිය හැර ගිය 50කට යළි සරසවි වරම්

නවක වධය නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපන හැර ගිය සිසුන් පනස් දෙනකුට පමණ අධ්‍යයන කටයුතු සඳහා යළි විශ්විද්‍යාලවලට පැමිණීමට අවස්ථාව ලබා දීමට ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කමිටුව තීරණය කර ඇත.

නවක වධයට ලක් වන විට අධ්‍යයන කටයුතු කරමින් සිටි විශ්වවිද්‍යාලය මාරු කිරීම ඇතුළු සහන ඔවුන්ට ලබා දීමට ද නියමිතය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මෙම කමිටුව පත් කරන ලද්දේ ඉකුත් පස් වසරක කාලයේ දී නවක වධ ක්‍රියාකාරකම් නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතරමග නතර කළ සිසුන් සම්බන්ධයෙන් සොයා බලා ඔවුන්ට සහන සැලසීම සඳහා ය. ඒ අනුව එලෙස අසාධාරණයට ලක්වූ සිසුන්ගෙන් කමිටුව අයැදුම්පත් කැඳ වූ අතර අයැදුම්පත් 80කට අධික සංඛ්‍යාවක් ලැබී තිබිණි. තමන් මුහුණ දුන් නවක වධ සිද්ධියට අදාළ දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙන ලෙස කමිටුව ඔවුන්ට දැනුම් දී තිබිණි.

ඒ අනුව දිවුරුම් ප්‍රකාශ එවා ඇත්තේ පනස් දෙනෙක් පමණ පිරිසක් යැයි වාර්තා වේ.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආචාර්ය සලීම් මහරූෆ්ගේ සභාපතිත්වයෙන් පත් කළ මෙම කමිටුවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මාගම්මන ප්‍රඥානන්ද හිමි, ආචාර්ය බෙනට් සාන්ත පියතුමා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෛ් හිටපු උපකුලපති මහාචාර්ය නාරද වර්ණසූරිය, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති චන්ද්‍රා ඇඹුල්දෙණිය හා ජනාධිපති නීතිඥ ලාල් ද අල්විස් අයත් වෙති. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති මහාචාර්ය ජනිතා ලියනගේ කමිටුවේ ලේකම්වරිය ලෙස කටයුතු කරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 June 2020 11:44