April 20, 2024

එම්.සී.සී. කමිටු අවසන් වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට

රජයට භාරදුන් එම්සීසී ගිවිසුම පිළිබඳ සමාලෝචන කමිටු අවසන් වාර්තාව ලබන සතියේ නිල වශයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය. 

ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල, නෙළුම් මාවත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවේදීය.

කැබිනට් මණ්ඩලය ප‍්‍රමුඛ රජය මෙහි අන්තර්ගතයේ අඩංගු කරුණු ගැඹුරින් අධ්‍යයනය කර ගනු ලබන තීරණය රටට ප‍්‍රකාශයට පත්කරන බවද ඒ මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පත්කෙරුණු සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව පසුගියදා එම කමිටුව විසින් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට භාරදෙනු ලැබීය.

මේ පිළිබදව රජය කටයුතු කරන්නේ ඉතා විනිවිදභාවයකින් බව පැවසූ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා තම රජය රටට අහිතකර කිසිදු ගිවිසුමක් අත්සන් නොකරන බව ඉතා වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරන බවත් සදහන් කළේය.

වාර්තාවක් කැඳවූ පසු එම වාර්තාව හොදින් අධ්‍යයනය කළ යුතු වන අතර, මෙවැනි කාරණයක් සම්බන්ධයෙන් ආවට ගියාට ආවේගශීලීව කටයුතු කළ නොහැකි බවත්, කරුණු හොඳින් අධ්‍යයනය කිරීම රජයේ යුතුකම බවත් පැවසූ ජී.එල්. පීරිස් මහතා මෙහි සියලූ පැතිකඩ සලකා බලා සෑම දෙයක්ම රටට ප‍්‍රකාශ කරන බවත් රජය තීරණ ගන්නේ රටේ ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බවත් වැඩිදුරටත් පැවසීය. 

Rate this item
(0 votes)