April 19, 2024

"විදෙස් කුමන්ත්‍රණ තියනවලු - ඇයි මොනවද කියලා කියන්නෙ නැත්තෙ?" - බිමල් රත්නායක

මහ මැතිවරණය ආසන්නයට පැමිණීමත් සමග යළිත් විදෙස් කුමන්ත්‍රණ නාටකය කරළියට පැමිණ ඇති බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

විදෙස් කුමන්ත්‍රණ දැන් රාජපක්ෂලාගේ සහ ඔවුන් සමග සිටින පාර්ශ්වවල කෝකටත් තෛලය වී ඇති බවත් එදා විදුලි පුටුව ගැන ජනතාවට බිල්ලන් මැවූ රාජපක්ෂලා අද එහි දෙවැනි කොටස ආරම්භ කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ජාතික ජන බලවේගය පැවැත්වූ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ මැතිවරණය ආසන්න වීමත් සමග ඔවුන්ට වාසිදායක සිදුවීම් රටතුළ කෘත්‍රිමව නිර්මාණය කිරීමට වුවද රාජපක්ෂලා කටයුතු කරනු ඇති බවයි.

අගමැතිවරයා මැතිවරණ අපේක්ෂකයෙකු ලෙස සිටිමින් සියලු මැතිවරණ නීති උල්ලංඝනය කරමින් විශේෂ ප්‍රකාශ සිදු කරන බවත්, ආණ්ඩුව හැකි සියලුම ආකාරයෙන් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් තමන්ට වාසිදායක තත්වයක් නිර්මාණය කර ගනිමින් සිටින බවත් බිමල් රත්නායක මහතා පවසයි.

කරුණාගේ ප්‍රකාශය, ක්‍රිකට් තරග පාවාදීම් වැනි බරපතල කරුණු සිල්ලර දේවල් ලෙස හැඳින්විය හැක්කේ කුමන පදනමකින්දැයි ඔහු විමසා සිටී. එදා විල්පත්තුව ගැන, මහ බැංකු වංචා ගැන, එම්.සී.සී. ගිවිසුම ගැන විශාල චෝදනා එල්ල කළ රාජපක්ෂලා අද එම චෝදනාවලට වගකිව යුතු පුද්ගලයන් ආරක්ෂා කරමින් සිටින බවත්, අගමැතිවරයා පවසන විශාල චිත්‍රය තුළ ඇත්තේ මෙවැනි දේ බවත් රත්නායක මහතා අවධාරණය කරයි.

විදෙස් කුමන්ත්‍රණ තිබේ නම් ඒවා හෙලිදරව් කිරීම සහ ඊට එරෙහිව අවශ්‍ය පියවර ගැනීම ආණ්ඩුවේ සහ ජනාධිපතිවරයාගේ වගකීම බව පෙන්වා දෙන බිමල් රත්නායක මහතා පවසන්නේ අගමැති අයියා පවසන විදෙස් කුමන්ත්‍රණ මොනවාදැයි හෙලිදරව් කිරීම ජනාධිපති මල්ලීගේ වගකීම බවයි.

Rate this item
(0 votes)