April 20, 2024

ඩෙංගු සහ මී උණ රෝග ව්‍යාප්තවීමේ වැඩි අවදානමක්

ප‍්‍රදේශ රැසක ඩෙංගු සහ මී උණ රෝග ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය අනතුරු අඟවයි.

ඉකුත් වසරට සාපේක්‍ෂව මේ වසරේ පළමු කාර්තුව තුළ ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම අඩු වුවද, යළි රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්නුම් කරන බව වෛද්‍යවරුන් පවසයි.

කොරෝනා මර්දනයට සමගාමිව පැවති ඇදිරි නීති කාලසීමාවේ ජනතාව තම ගෙවතු පවිත‍්‍රව තබාගැනීම හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම අඩුවීමට හේතුවක් ලෙස හදුනාගෙන තිබේ.

මේ වනවිට යළි ජනතාව සුපුරුදු රාජකාරිවලට පැමිණීම හේතුවෙන් ඩෙංගු රෝග ව්‍යාප්තියේ වැඩි අවදානමක් මතුව ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. 

ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් බස්නාහිර පළාත තුල හඳුනාගෙන ඇති බවත් නමුත් ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම ඩෙංගු රෝගයේ අවධානම පවතින බවත් හෙතෙම සඳහන් කළේය.

ඩෙංගු රෝගය මෙන්ම මී උණ රෝග තත්ත්වයද ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. 

එබැවින් කුඹුරු ආශි‍්‍රතව කටයුතු කරන ගොවීන් ඒ පිළිබද වැඩි අවධානයක් යොමුකළ යුතු බව විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියාසිටියේය.

මේ අතර පවතින වර්ෂාව සහිත කාලගුණය පහව යාමෙන් අනතුරුව සිදුවිය හැකි ඩෙංගු ව්‍යාප්තිය මර්දනය සදහා වහාම සූදානම් වන්නැයි ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා ආණ්ඩුකාරවරුන්ට සහ පළාත් පාලන ප‍්‍රධානීන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

සෑම වසරකම ඩෙංගු රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි. වෙනත් ප‍්‍රදේශවල සිට මේ පළාතට දෛනිකව විශාල පිරිසක් පැමිණෙන බැවින් ඔවුන් වාහකයන් ලෙස පිටව යාම වැළැක්විය හැක්කේ බස්නාහිර පළාතට ප‍්‍රමුඛතාවය දී ඩෙංගු මර්දනය කිරීමෙන් බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ඒ සඳහා පළාතේ සියලූ පළාත් පාලන ආයතන, සෞඛ්‍ය අංශ සහ පරිසර පොලීසිය සකී‍්‍රයව කි‍්‍රයාත්මක විය යුතු බවද මෙහිදී අවධාරණය කෙරිණි. ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.

Rate this item
(0 votes)