July 14, 2020

ගල්කිස්සෙ වෙරළ ගොඩකළේ වත්මන් කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් - ඒ කාලෙ මේ විෂය තිබුණේ මෛත්‍රී අතේ

ගල්කිස්ස වෙරළ මුහුදු වැලිවලින් පුරවා එම ව්‍යාපෘතිය අසාර්ථක වූ විට එහි වගකීම තමා පිට සහ පැවති ආණ්ඩුව පිට පටවා වත්මන් ආණ්ඩුව අත සෝදා ගැනීමේ උත්සාහයක නිරත වන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මේ වනවිට අදාල අසාර්ථක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ ගල්කිස්ස වෙරළ තීරයට කිසිවෙකුට ඇතුළු වීමට ඉඩ නොදී ආරක්ෂක අංශ යොදවා ඇති බවත්, පසුගිය ආණ්ඩුවට මඩ ගැසීම සඳහා තිර නාටකයක් ලියවෙමින් තිබෙන බවත් හිටපු අමාත්‍යවරයා පවසයි.

මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැළසුම් කළ ව්‍යාපෘතියක් බව පෙන්වා දෙන චම්පික රණවක මහතා පවසන්නේ එම දෙපාර්තමේන්තුව පසුගිය යහපාලන රජය සමයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පරිසර අමාත්‍යංශයට අයත්ව තිබූ ආයතනයක් බවයි. මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සමග එහි කිසිදු සම්බන්ධයක් නොතිබූ බව ද රණවක මහතා පවසයි.

එසේම මෙම ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙන්නේ 2020 වසරේ ජනවාරි මාසයේදී බවත් ඒ වනවිට කැබිනට් මණ්ඩලය නියෝජනය කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මිස තමන් නොවන බවත් හිටපු ඇමතිවරයා පවසයි.

රුපියල් දසලක්ෂ අටසිය අනූවක් වැය කරමින් පිරවූ වැලිවලින් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වනවිටත් යළි මුහුදට ගසාගෙන ගොස් ඇති බවත්, එය ස්වභාවික ක්‍රියාවලියක් බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ම පිළිගෙන ඇති බවත් හිටපු ඇමතිවරයා පෙන්වා දෙයි.

බොරුවෙන් සහ වංචාවෙන් ආණ්ඩුව ගෙනයන වත්මන් පාලකයන් අසාර්ථක වන සෑම අවස්ථාවකදීම එහි වගකීම පැවති ආණ්ඩුව මත හෝ ජනතාව මත හෝ පැටවීමට උත්සාහ දරන බවට රණවක මහතා චෝදනා කරයි.

Rate this item
(0 votes)