March 29, 2024

සමඟි ජන බලවේගයෙන් නාමයෝජනා දුන්නට අපි එජාපයේ - සරත් ෆොන්සේකා

සමඟි ජන බලවේගයෙන් නාමයෝජනා දුන්නද තවදුරටත් තමන් ඇතුළු කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය. 

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (29) ප්‍රකාශයක් ලබා දීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය පැමිණි අවස්ථාවේදීය.

මාර්තු 16 වැනි දින සරත් ෆොන්සේකා මහතා සිය කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා තිබුණේ ඒ වන විට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා තිදෙනෙකු මිය ගොස් සිටි බවයි. එය අසත්‍ය කරුණක් වූ අතර ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිලි ඉදිරිපත්ව තිබුණි. 

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියෙන් සමඟි ජන බලවේගය පිහිටුවනු ලැබූ හෙයින් සමඟි ජන බලවේගය එජාපයට ප්‍රශ්නයක් විය යුතු නැති බව ෆොන්සේකා මහතා සඳහන් කළේය. 

තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් වන හෙයින් සාමාජිකත්වය අහෝසි කළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු කියා සිටියේය. 

මේ අතර විපක්ෂය පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලීම් කළද එය එය තවදුරටත් ඉටු නොවීම සම්බන්ධයෙන්ද සරත් ෆොන්සේකා මහතා අදහස් දැක්වීය. 

"පාර්ලිමේන්තුව නැතිව මාස තුනක් රට යනවා නම් එය ව්‍යවස්ථාවට විරුද්ධයි. රටේ පාලකයා බොහොම දඩබ්බර විදිහට කියනවා මම කීයටවත් පාර්ලිමේන්තුව කැඳවන්නේ නැහැ කියල. අපි ඒකට එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා අධිකරණයට ගිහින් තියෙනවා."

ඒ අනුව අධිකරණයේ තීන්දුව අනුව වැඩ කරන බව ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසුවේය.   

Rate this item
(0 votes)