April 25, 2024

මාසිකව මිලියන සියයක් දකුණුඅප්‍රිකාවට යවන RMVජාවාරම දීර්ඝ කෙරේ

2016 වසරේ සිට මේ දක්වා රජයට රුපියල් මිලියන පන්දහසක් පාඩු කල රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම  තව දුරටත් දකුණු අප්‍රිකානු සමාගමටම ලබාදීමට කැබිනට් මණ්ඩලයද නොමග යවමින් පවාහන අමාත්‍යංශය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් රජයට පවරා ගන්නා ලෙස තුන්වරක් නියෝග කල රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය  රජයට පවරා නොගෙන තවදුරත් දීර්ග කිරීම බරපතල අපරාධයක් වන අතර එමගින් රජයට මාසිකව අහිමි වන ආදායම රුපියල් මිලියන සියයකට අධිකය.

රියදුරු බලපත්‍රය නිකුත් කිරීමේ සමස්ත ක්‍රමවේදය 2016 වසරේදී රජයට නීත්‍යානුකූලව හිමිවුවද එය පවර ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හා ප්‍රවාහන අමාත්‍යංශයේ එවකට සිටි  ඇතැම් නිලධාරීන් කටයුතු නොකළේ ඒ සඳහා  විශාල මුදලක් අදාල දකුණු අප්‍රිකානු සමාගමෙන් ලබා ගනිමිනි.

එම නිසා එතැන් සිට මේ දක්වා මාසිකව ශ්‍රීලංකා රජයට ලැබිය යුතු රුපියල් මිලියන සියයකට අධික මුදලක් අදාල අප්‍රිකානු සමාගමකට හිමිවන අතර එය විදේශ විනිමය ලෙස එරටට ඇදී යන්නේ ශ්‍රීලංකාව බරපතල මූල්‍ය අර්බුදයකට මුහුණ දෙමින් ඇති අවස්ථාවකය. මේ සඳහා අදාළ ගිවිසුම ජුලි පළමුවැනිදාට පෙර  අත්සන් තැබෙන අතර එහිදී මෙතෙක් එම සමාගමට රියදුරු බලපත්‍රයක් නිකුත්කිරීම සඳහා  ලබාදුන් රුපියල් 1340 වෙනුවට රුපියල් දහසක් බැගින් ලබා දීමට නියමිතය.ඉතාම යල් පැනගිය තාක්ෂණ ක්‍රමයක් වන මෙම චිපය සහිත කාඩ් පතෙහි වර්තමාන වටිනාකම රුපියල් සියකටත් අඩු මුදලක්ව තිබියදී මේ ආකාරයට මහජන මුදල් විදෙස් සමාගමකට ලබාදීම පිටු පස මෙවරද සිටින්නේ එම දෙපාර්තමේන්තුවේ  සහ ප්‍රවාහන අමාත්‍යංශයේ වර්තමාන බලධාරීන්ය.

 

 

 

Rate this item
(1 Vote)