May 27, 2020

"මැ.කො. ඉස්සර රට ජාතිය වෙනුවෙන් පෙනී හිටියා - දැන් එහෙම නෑ" - පොහොට්ටුවෙන් ප්‍රහාරයක්

මැතිවරණ කොමිසම ක්‍රියාත්මක වන්නේ විපක්ෂයේ අවශ්‍යතාවන් අනුව බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි.

එම පක්ෂයේ මහමැතිවරණ අපේක්ෂක ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවේ මැතිවරණ කොමිසම පිළිබඳ ජනතා විශ්වාසය මේ වනවිට බිඳවැටී ඇති බවයි. 

ෂෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි. 

"මැතිවරණ කොමිසම සම්බන්ධයෙන් අපේ රටේ ජනතාවගේ විශ්වාසයක් තිබ්බා. හැබැයි පසුගිය අවුරුදු හතරක කාලය තුළ මැතිවරණ කොමිසම ක්‍රියාත්මක වෙච්ච ආකාරය දිහා බැලුවාම ක්‍රමානුකූලව ඒ කොමිසම කෙරෙහි ජනතා විශ්වාසය ක්‍රමානුකූලව බිඳී ගියා. විශේෂයෙන් කොමිසමේ සභාපති හැටියට මහින්ද දේශප්‍රිය මහතා ගැන අපි විශ්වාසයක් තැබුවා වගේම එතුමා රට ජාතිය වෙනුවෙන් කතා කරන පුරවැසියෙක් හැටියට අපි හඳුනාගෙන හිටියා. හැබැයි රටේ ජනතාව අද එතුමා සම්බන්ධයෙන් තිබුණු ප්‍රතිරූපය ගැනත් කළකිරීමෙන් කතා කරනවා අපි දකිනවා. 

දැන් මැතිවරණ කොමිසම කියනවා ඔවුන්ට මැතිවරණයක් පැවැත්වීමට සෞඛ්‍ය අංශ උපදෙස් දුන්නායින් පස්සෙ සති 9ත් 11ත් අතර කාලයක් ගතවෙනවා කියලා. අප්‍රේල් 25 පැවැත්වීමට නියමිතව තිබ්බ මැතිවරණය මැතිවරණ කොමිසම එවකට පැවති සෞඛ්‍ය තත්වය පදනම් කරගෙන කල්දැම්මා ජුනි 20 දක්වා. මැතිවරණ කොමිසම තවත් මාස තුනකට ආසන්න කාලයක් මැතිවරණයක් නොතියා ඉන්න හදනවා නම් එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය මැතිවරණය එපා කියලා දිගින් දිගටම මත ප්‍රකාශ කරනවා නම් ඒ වෙනුවෙන් අධිකරණය වෙත ඔවුන් යොමුවෙලා තියෙනවා නම් මැතිවරණ කොමිසමත් අදහස් ප්‍රකාශ කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදුවෙන්නේ විපක්ෂයේ අවශ්‍යතාව මත කියන කාරණය අපට පැහැදිලිව පේන්න තියෙනවා" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 

Rate this item
(0 votes)