April 19, 2024

ඉදිරි දින කිහිපය තුළ කොළඹ හා ගම්පහ විවෘත කරන්න සූදානම්

සති තුනක කාලයක සිට බාහිර සමාජයෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවුණු බැවින් ඉදිරි දින කිහිපය තුළ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක ද බාහිර සමාජයට විවෘත කිරීමට හැකි වනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

සමාජයෙන් රෝගීන් වාර්තා නොවූවත් කොවිඩ් - 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ලබා දී ඇති සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපැදීමට සමස්ත සමාජය ම වග බලා ගත යුතු බවත් සමාජ දුරස්ථභාවය සහ පෞද්ගලික ස්වස්ථතාව පවත්වා ගැනීම අනිවාර්ය බවත් ඔහු අවධාරණය කළේය.

නාවික හමුදා සාමාජිකයන්ගෙන් සහ පිටරට සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන්ගෙන් හැරුණු විට වෙනත් තැනකින් රෝගීන් වාර්තා නොවන බව ද ඔහු ජාතික පුවත්පතකට අදහස් දක්වමින් සඳහන් කර තිබේ.

වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයන් අතර ද මේ වන විට රෝගය ව්‍යාප්ත වීම ඉතා සාර්ථක ව පාලනය වී ඇතැයි ද වෛරසය ආසාදිත වූ පුද්ගලයන්ගෙන් සියයට 50 කට අධික සංඛ්‍යාවක් පූර්ණ සුවය ලබා මේ වන විට රෝහල්වලින් පිටව ගොස් ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය. 

Rate this item
(2 votes)