April 20, 2024

"ඔය ගහන්නේ මට නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදයට " - කරුගෙන් ප්‍රතිචාර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හා ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධයෙන් පසුගිය දිනවල ජාතික පුවත්පතක් විසින් පළකර තිබූ පුවතක් සම්බන්ධයෙන් හිටපු කථානායක ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කරු ජයසූරිය මහතා ප්‍රතිචාර දක්වා තිබේ. 

තමන් ජාතික පොලිස් කොමිසමේ කටයුතුවලට බලපෑම් එල්ලකරන බවට එම පුවත හරහා චෝදනා එල්ල කර තිබූ අතර ජාතික පොලිස් කොමිසම විසින් ද එම පුවත අසත්‍ය බවට අදාළ පුවත්පතට ලිඛිත දැනුම් දීමක් කර තිබුණු බව කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හා ස්වාධින කොමිෂන් සභා සම්බන්ධයෙන් අසත්‍ය හා ද්වේශ සහගත ලෙස පළ කර තිබූ පුවතින් සිදු වූයේ පෞද්ගලිකව තමන්ට පහර එල්ලවීමක් නොව ප්‍රජාතන්ත්‍රවාදයට පහර දීමක් බව හෙතෙම අවධාරණය කර ඇත. එමඟින් බලාපොරොත්තු වන්නේ ව්‍යවස්ථාදායක සභාව හා ස්වාධීන කොමිෂන් සභා පිළිබඳ ජනතා විශ්වාසය බිඳ දැමීම බව පෙන්වාදෙන හිටපු කථානායකවරයා පවසන්නේ එවැනි ක්‍රියාමාර්ග කූට සහ විනාශකාරී දේශපාලන ව්‍යාපෘතියක බළල් අතක් ලෙස සලකන බවයි. 

"ස්වාධින කොමිෂන් සභා ස්ථාපනය කළ යුතු බවත් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය පනතක් මඟින් තහවුරු කළ යුතු බවත් 1994 මම දේශපාලනය ඇතුළු වුණු දා සිටම කියා සිටියා."

1997 වසරේ පැවති කුප්‍රකට වයඹ පළාත් සභා ජන්දයේදී සිදු වූ වංචා, දූෂණ හා ප්‍රචණ්ඩත්වය තමන් ප්‍රතික්ෂේප කළ අතර එවන් අකටයුතුකම් කිරීමට ආණ්ඩුවකට අනිසි බලයක් ලබා නොදිය යුතු බවට  යෝජනා කළ බවද කරු ජයසූරිය මහතා සඳහන් කරයි. 

එදා පටන් තමන් මාධ්‍ය නිදහස,මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව,ස්වාධීන කොමිෂන් සභා ඇතිකිරීම මෙන්ම ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටි බවද පවසන හිටපු කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ අවසානයේ ගණුදෙනුව ඇත්තේ තම තමන්ගේ හෘදය සාක්ෂිය සමඟ බවයි. 

Rate this item
(0 votes)