April 25, 2024

සෞඛ්‍ය උපදෙස් අනුව පොසොන් උත්සවය සමරන ලෙස සෞඛ්‍ය අංශ කියයි

සෞඛ්‍ය උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයකින් රට පුරා පොසොන් උත්සව සැමරුම් පවත්වන ලෙස සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

පොසොන් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී මෙම තීරණවලට එළැඹිණි.

කොවිඩ් වසංගත තත්ත්වය මේ වන විට සෞඛ්‍ය අංශ පාලනයේ පවතින හෙයින් දුරස්ථභාවය රැකෙන අන්දමින් මෙවර පොසොන් පොහොය දින සීල ව්‍යාපාර පැවැත්වීමට ද එහිදී තීරණය විණි.

“ආරෝග්‍යා පරමා ලාභා” තේමාව යටතේ, මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ මැදමළුවේදී පැවැත්වෙන අතර ලොවම සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දී සිටින මේ අවස්ථාවේ රාජ්‍ය වෙසක් උත්සවය සැමරූ “ආරෝග්‍යා පරමා ලාභා” තේමාවම රාජ්‍ය පොසොන් උත්සවය සැමරීමටද සුදුසු බව එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව මිහින්තලා පුදභූමියේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය, අටස්මස්ථාන ආශ්‍රිතව සහ සිතුල්පව්ව, මුල්කිරිගල, තිස්සමහාරාම විහාරස්ථානවල පැවැත්වෙන පොසොන් පින්කම් ද ඇතුළුව රට පුරා පැවැත්වෙන පොසොන් පිංකම් වෙනත් වර්ෂවල මෙන්ම පිරිත් දේශනා, හේවිසි පූජා, කප්රුක් පූජා, සහ මාධ්‍ය ආයතනවල අනුග්‍රහය ඇතිව ආලෝක පූජා පැවැත්වීම ද සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පමණක් සිදුකරේ.

අවදානම් පිරිස් ලෙස සැලකෙන යම් යම් රෝග තත්ත්වයන් පවතින අය හා වයස්ගත පිරිස් සීල ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමෙන් වලකින ලෙසද මෙහිදී සෞඛ්‍ය අංශ අවධාරණය කළේය.

ඒ අනුව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් ලබාගනිමින්, පන්සල් අවට සීමිත පිරිසකගේ සහභාගීත්වයකින් සීල ව්‍යාපාර පැවැත්වීමට හැකියාව ලැබෙයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පළාත් හා දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ දැනුම්වත් කිරීමටද මෙහිදී තිරණය විය.

මෙවර පෙරහැර පින්කම් අත්‍යාවශ්‍ය අංග පමණක් සහභාගි කර ගනිමින් විහාරස්ථාන භූමියට පමණක් සීමා කිරීම මඟින් ජන සහභාගීත්වය අවම කිරීමට පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය අංශ දැනුම් දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

පන්සලෙන් ජනතාව ඈත් කිරීම නොකළ යුතු වුවත් ලෝකයම මුහුණ දීලා තියෙන අවදානම් තත්ත්වය නිසා මේ අවස්ථාවෙ කිසියම් පාලනයක් කරන්න අවශ්‍යයි. පොසොන් පෙරහැර පැවැත්වීමත් ජනතාව ඒකරාශි නොවන විදියට කරන්න සිද්ධ වෙනවා. සහභාගි කරවා ගන්න ප්‍රමාණය ඒ ඒ පන්සල්වල ඉඩ ප්‍රමාණය අනුව තීරණය කරන්න වෙනවා. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මේ සදහා සහාය වෙයි.

සෞඛ්‍ය අංශ නිකුත් කරන නිර්දේශ ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීමට ජනතාව පියවර ගැනීම වැදගත් වෙනවා. මාධ්‍ය ආයතන මඟින් සජීවී ව පෝදා වැඩසටහන් විකාශනය කරන නිසා ජන සහභාගීත්වය අවම වෙයි කියලා හිතනවා.

ඒ වගේම සීල ව්‍යාපාර සඳහා සම්බන්ධ කර ගන්නා පිරිස් අතරට රෝගාබාධවලින් පෙලෙන්නන් සහ වැඩිහිටි අය සම්බන්ධ කර ගැනීමෙන් වලකින්නත් අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනවලින් ජනතාව දැනුම්වත් කිරීමත් අවශ්‍යයි.

මෙම අවස්ථාවට සිතුල්පව්ව රජමහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන නායක හිමි, තිස්සමහාරාම රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය දේවාලේගම ධම්මසේන නායක හිමි, මුල්කිරිගල රජමහා විහාරාධිපති පූජ්‍ය බෙලිගල්ලේ සරණපාල නායක හිමි, මාතර පාලටුව බෞද්ධෝධය විහාරාධිපති ගැටමාන්නේ ගුණානන්ද හිමි, සුදර්ශන ධර්ම නිකේතනයේ ලේල්වල සමිත හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ, වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්. කේ. බන්දුල හරිස්චන්ද්‍ර, බෞද්ධ කටුයතු කොමසාරිස් ජෙනරාල් සුනන්ද කාරියප්පෙරුම ඇතුළු අමාත්‍යංශ ලේකම්වරු සහ දකුණු පළාත් රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Rate this item
(0 votes)