May 27, 2020

ඇඳිරිනීතිය අතරේ උපන්දින සාදයක් පැවත්වූ යාපනයේ ආවා නායකයෙක්ගේ නිවසක් වටලයි - තිදෙනෙකු අත්අඩංගුවට

යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේදී ඇඳිරිනීතිය පවතින අතරතුර ආවා කල්ලියේ බවට සැකකෙරෙන නායකයෙකුගේ උපන්දින සාදයක් පැවත්වූ නිවසක් යුදහමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (06) රාත්‍රියේ වටලා තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට තෙලිප්පලෙයි පොලීසිය පවසයි.

තෙලිප්පලෙයි පොලීසියට මල්ලාකම් අධිකරණ මාවතේ පිහිටි නිවසක පිරිසක් එක්ව මත්පැන් බාවිතා කරමින් සාදයක් පවත්වන බවට ලැබුනු තොරතුරකට අනුව ඒ බව යුදහමුදාවට හා පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු වෙතට දැනුම් දී එම නිලධාරීන් පිරිසක් විසින් තෙලිප්පලෙයි ප්‍රදේශයේ අදාල සාදය තිබුනු නිවස වටලා ඇත.

එහෙදී ආරක්ෂක අංශ නිලධාරීන් දැක පිරිසක් පලාගොස් ඇති අතර නිවසේ සිටි තරුණයින් තිදෙනෙකු හා යතුරුපැදි 5ක් අත්අඩංගුවට ගෙන තෙලිප්පලෙයි පොලීසියට භාර දී ඇත.

අදාල උපන්දින සාදය ආවා කල්ලියේ නායකයෙකු වූ විනෝදන් නැමත්තාගේ උපන්දිනය වෙනුවෙන් පැවති සාදයක් බවටත් එම සාදයට සහභාගී වූ සියලු පුද්ගලයින් ආවා කල්ලියේ බවට සැක පලකරන අතර පලාගිය පුද්ගලයින්ද අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද පොලීසිය පවසයි.

කෙසේ වෙතත් යාපනයේ පවතින ඇඳිරිනීතිය හමුවේ පුද්ගල රැස්වීම්, සාදයන් හා මත්පැන් සියල්ලක්ම තහනම් කර තිබෙන අවස්ථාවක මෙවැනි ක්‍රියාකාරකම් සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදුකරන තෙලිප්පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(1 Vote)