April 20, 2024

පුද්ගලික ‍රෝහල් සහ ෆාමසිවල අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක්ද? ඖෂධ ආනයනකරුවන් පිළිතුරු දෙයි

ශ්‍රී ලංකාවේ පුද්ගලික සෞඛ්‍ය අංශය තුළ එනම් පුද්ගලික රෝහල් හා පුද්ගලික ඖෂධ අලෙවිසැල්වල කිසිදු අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නොමැති බව ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය(SLCPI) පවසයි.

එම සංගමයේ සභාපති කස්තුරි චෙල්ලරාජා විල්සන් මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

වෙළඳපොළේ ඖෂධ හිඟයක් ඇති බවට මාධ්‍ය තුළ පැතිර යන කටකතා අසත්‍ය බවද ඒ මහතා පවසයි.

එවැනි ඖෂධ හිඟතාවයක් නොමැති බැවින් අනියත බියක් ඇති කර ගැනීමට අනවශ්‍ය බව ද සභාපතිවරයා සඳහන් කරයි.

අවම වශයෙන් මාස දෙකකට හෝ ඊටත් වැඩි කාලයක් සඳහා අත්‍යාවශ්‍ය ‍ඖෂධ තොග සියලූම ප්‍රධාන ඖෂධ ආනයනකරුවන් සතුව පවතින බව ද ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය පවසයි.

ශ්‍රී ලංකාව යනු කුඩා වෙළඳපොළක් වන බැවින් ලෝකය පුරා පිහිටි ඖෂධ නිෂ්පාදන සමාගම් සමඟ මෙම සංගමයේ සාමාජිකයන් අතර විශිෂ්ට සබඳතාවයක් පවතින බවද සභාපතිවරයා ‍පෙන්වා දෙයි.

එමෙන්ම ඔවුන් සියලු දෙනාම ජාතික ඖෂධ නියමන අධිකාරීයේ ලියාපදිංචි වී ඇති නිසාත් ඖෂධ තොග අවසන් නොවන බවට සහතික වන බවත් කස්තුරි චෙල්ලරාජා මහතා පවසයි.

දැනට පවතින ඇඳිරි නීතිය හේතුවෙන් පිට පළාත්වලට ඖෂධ බෙදා හැරීමේ බාධා සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හා පොලීසියේ සහාය ඇතිව එය විසඳා ගත් බවත් එම සංසදය සඳහන් කරයි.

එමෙන්ම ඖෂධ ගබඩා කිරීමේ දී ඒ පිළිබඳ දැන සිටීම ඉතා වැදගත් බවත් අවධාරණය කර සිටින සභාපතිවරයා, ඖෂධ අතිරික්ත නිවසේ නිවැරදි ලෙස ගබඩා කිරීමට අපොහොසත් වීම එහි ක්‍රියාකාරීත්වයට බලපෑ හැකි බවත් පෙන්වා දෙයි.

Rate this item
(0 votes)