March 29, 2024

කොරෝනාවලට මුහුණ දෙන්න ලාංකිකයින්ගෙන් නව නිපැයුම් රැසක්

ලොවම වසාගෙන සිටින කොවිඩ් 19 වෛරසයට මුහුණදීමට ශ්‍රී ලාංකිකයන් විසින් නව නිපැයුම් කිහිපයක් සොයාගෙන තිබේ.

සෞඛ්‍ය අංශ මගින් කළ ඉල්ලීමකට අනුව පුද්ගලික සමාගමක් හා එක්ව ඉංජිනේරු බුද්ධික මාරසිංහ මහතා මෙම නව සොයාගැනීම සිදුකර තිබේ.

ඒ අනුව කොවිඩ් 19 ආසාදිතයින්ට කෘත්‍රිම ශ්වසනය ලබා දිය හැකි උපකරණයක් නිපදවීමට සමත් වී තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ රෝගීන්ගේ ප්‍රාශ්වාස වාතය සාමාන්‍ය ලෙස බැහැර නොකර දහනය කළ හැකි විමයි.

මේ අතර මහනුවර රෝහලේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒකකයේ හෙද නිලධාරී බිහාන් හපුතන්ත්‍රී මහතා විසින් එකවර සිව්දෙනෙකුට කෘත්‍රිම ශ්වසනය ලබා දිය හැකි වෙන්ටිලේටර් යන්ත්‍රයක් නිර්මාණය කිරීමට සමත්ව තිබේ.

එම යන්ත්‍රය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට හඳුන්වා දීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.

මේ අතර සේවා ලබාගැනීමට පැමිණෙන මහජනතාව හා සිය සාමාජිකයින්ගේ විෂභීජහරණය කිරීමේ අරමුණින් මහරගම පොලීසිය විසින් විෂබීජහරණය කිරීමේ කුටියක් නිර්මාණය කර ඇත.

මේ අතර පොදු ස්ථානවල භාවිතා කළ හැකි පාදයෙන් ක්‍රියාත්මක කළ හැකි ජල කරාමයක් හඳුන්වාදීමට හලාවත ආරච්චිකට්ටුව ප්‍රදේශයේ කාර්මිකයෙකු සමත්වී තිබේ.

වෘත්තීය පුහුණු අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික්කයේ උපදේශකවරයෙකු ලෙස සේවය කරන H.M.S.P. හේරත් මහතා විසින් පාදයෙන් ක්‍රියාත්මක කළ හැකි ජල කරාමය නිපදවනු ලැබීය. ජලකරාමය විවෘත කිරීම, අත් සේදිම සඳහා අවශ්‍ය සබන් දියර ලබා ගැනීම සහ අත් පිස්නා ඉවත් කිරීම සඳහා කසල බදුන විවෘත කිරීම යන සියලු කාරණයන් පාදයෙන් පමණක් සිදු කළ හැකි වීම මෙහි ඇති විශේෂත්වයකි.

මේ අතර රටේ පවතින තත්ත්වයත් සමඟ ජනතාවට තම සෞඛ්‍ය ගැටලු සඳහා විසඳුම් ලබාගැනීමට 1390 ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වාදීමට ස්වෙච්ඡා වෛද්‍ය කණ්ඩායමක් පියවර ගෙන තිබේ.

Rate this item
(0 votes)