April 23, 2024

අණ නොතක පලා ගිය රථයේ සිටි දෙදෙනෙක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් - මෝටර් රථය පෙම්වති‍ය දුන් එකක්

ඇඳිරි නීති කාලය තුළදී පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මොරටුව එගොඩඋයන ප්‍රදේශයේදී පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එහි ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

පොලිසිය පැවසුවේ, ඉන් දෙදෙනෙකුම හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ අය බවයි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනාම මොරටුව මහේස්ත්‍රාත් හමුවට කරුණු වාර්තාකිරීමෙන් පසු අප්‍රේල් 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාතර ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඇඳිරි නිතිය ක්‍රියාත්මක කාලය තුළ ඊයේ රාත්‍රි 10.20 ට පමණ මොරටුව එගොඩඋයන පොලිස් මුරපොළේ නිලධාරීන් මෝටර් රථයකට නැවැත්වීම සඳහා සංඥා කර තිබේ.

රථය ධාවනය වෙමින් තිබී ඇත්තේ මොරටුව සිට පානදුර දෙසටයි.
       
එහෙත් එම අණ නොතකා රථය ධාවනය කළ බැවින් පොලිසිය ඒ බව මෝදර අලුත් පාලම අසල මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට දැනුම් දී තිබුණි.

එම බාධයකයේදී ද රථය නැවැත්වීමේ සංඥා නොතකා රිය ධාවනය කිරීම හේතුවෙන් පොලිසිය ඊට වෙඩි තබා තිබේ.

එහිදීත් නොනවත්වා ධාවනය කළ රථය නැවැත්වීමට පානදුර දකුණ පොලිස් මාර්ග බාධයකයේ නිලධාරීන් සංඥා කළත් රථයේ රියදුරු ඊට අවනත වී නැහැ.

අනතුරුව මෝටර් රථය නවත්වා ඇත්තේ පානදුර රෝහල අසලයි.

එහිදී එය පොලිස් පරීක්ෂාවට ලක්ව තිබේ.

වෙඩිතැබීමෙන් මෝටර් රථයේ ගමන් ගත් සිව් දෙනාගෙන් තිදෙනෙකු තුවාල ලබා සිටි අතර ඔවුන්පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් තුවාලකරුවෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණි.

රෝහල වෙත තුවාලකරුවන්ගේ ඥාතීන් පැමිණ සිටි අතර කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවුණු පුද්ගලයාගේ පෙම්වතිය බව කියන තරුණියක්ද එම ස්ථානයේ සිටියේය.

අදාල තරුණිය විසින් මෙම මෝටර් රථය ඔවුන්ට ලබාදී ඇතැයි වාර්තා වන බව පොලිසිය සඳහන් කළේය.

ඔසුසැලක සේවය කරන එම තරුණිය බෙහෙත් ප්‍රවාහනය කිරිම සඳහා එගොඩඋයන ප්‍රදේශයේම අයෙකුගෙන් මෙම රථය කුලී පදනම මත ලබාගත් එකක් බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

මොවුන් අවුරුදු 18, 20 හා 22 යන වයස්වල පසුවන පානදුර හා බත්තරමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.

තුවාල ලැබූ තිදෙනාගෙන් දෙදෙනෙකුම හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඉන් එක් තුවාලකරුවෙක් 2018 නොවැම්බර් මාසයේදී හෙරොයින් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ අයෙක්.

අනෙක් තුවාලකරු 2017 වසරේ අප්‍රේල් මසදී පානදුර දකුණ පොලිස් ස්ථානය මගින් වරෙන්තුවක් සඳහා අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර ගතව සිටියදී පැනයාම, 2018 ජුලි මසදී හෙරොයින් ජාවාරම් කිරීම, 2018 දෙසැම්බර් මසදී පරදීමක් සම්බන්ධව සහ 2019 අප්‍රේල් මසදී හෙරොය්‍න් ළඟතබාගැනීම යන චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවෙක් බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.

අනෙක් සැකකරු එගොඩඋයන පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරනු ලබන අතර මෙම සැකකරුවන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමක් සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙයි.

මේ අතර අද උදෑසන කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ නිලධාරීන් පැමිණ අදාළ මෝටර් රථය සහ වෙඩි වැදුණු ස්ථානය පරීක්ෂා කරනු ලැබීය.

සැකකරුවන් සිව්දෙනාම මොරටුව මහේස්ත්‍රාත් හමුවට කරුණු වාර්තා කිරීමෙන් පසු අප්‍රේල් 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාතර ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Rate this item
(0 votes)