April 23, 2024

කබ්රාල්ගේ යෝජනාව අර්ථසාධක අරමුදල කොල්ල කෑමට ගෙන ආ එකක් - වෘත්තිය සමිතිවලින් දැඩි විරෝධයක්

අර්ථසාධක අරමුදලේ සාමාජික සාමාජිකාවන් වෙත එහි ශේෂයෙන් සියයට විස්සක් මුදා හැරීමට අග‍්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඞ් කබ්රාල් මහතා කර ඇති යෝජනාව අර්ථසාධක අරමුදල කොල්ල කෑමට ගෙන එන යෝජනාවක් බැවින් එයට දැඩි විරෝධය පළ කරන බව වෘත්තිය සමිති පවසති.
 
අද රැකියා කරන හෙට දවසේ වයෝවෘද්ධ භාවයට පත්වන ජනතාවගේ ජීවත්වීමේ අයිතිය උදුරාගැනීමක් ලෙස මෙම යෝජනාව දැකිය හැකි බව ද වෘත්තිය සමිති පෙන්වා දෙති.
 
මෙසේ ජනතාවගේ මුදල් මංකොල්ල කන්නට උත්සාහ නොකර  ධන කුවේරයන් විසින් වසර ගණනාවක් තිස්සේ මංකොල්ල කෑ සුවිශේෂ ලාභයෙන් කොටසක් මෙම මොහොතේ මුදාහරින ලෙස මෙරට ධන කුවේරයන්ට බල කරන ලෙස ද වෘත්තිය සමිති රජයට යෝජනා කරති.
 
ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා සඳහන් කරන්නේ ජනතාවට සහන සලසන්නට ආණ්ඩුවට මුදල් නැති බැවින් මෙසේ ජනතා මුදල් ජනතාව අතට පත් කරන්නට කටයුතු කරමින් සිටින බවත් එයට විරෝධය පළ කරන බවයි.
 
එම යෝජනාව පවතින ආර්ථික අර්බුදයට අර්ථසාධක අරමුදල බිලි දීමේ යෝජනාවක් වන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා ප්‍රකාශ කළේය.
 
මෙම අරමුදලේ මුදල් අයත් වන්නේ එහි ගිණුම් හිමියන්ට බවත් එය කබ්රාල් මහතාගේ පෞද්ගලික ගිණුමක් නොවන බවත් ඔහු අවධාරණය කළේය.
 
මෙම යෝජනාව කිසිසේත්ම ක‍්‍රියාත්මක කරන්නට ඉඩ නොතබන බව ද ඔහු වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(2 votes)