April 25, 2024

විදෙස්ගතව පැමිණ ලියාපදිංචි නොවූ අයට ‌‌‌හෙට දක්වා කල් ‌දෙයි - ‌හෙටින් පසු අත්අඩංගුවට

විදෙස්ගතව සිට මාර්තු 16 වෙනිදායි පසු මෙරටට පැමිණ මෙතෙක් පොලීසියේ ලියාපදිංචි වී නැති සියළුම පුද්ගලයින් අප්‍රේල් 01 (හෙට) වැනිදා වන විට ලියාපදිංචි විය යුතු බවත් එසේ නොවන පුද්ගලයින්ව අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවත් පොලිස් නීති අංශ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මේ කාලය තුළ විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය නොවූ කිසිදු පුද්ගලයෙකුට නීරෝධායන සහතිකය නොමැතිව නැවතත් විදෙස් ගතවීමට ඉඩ ලබානොදෙන බව ද ඔහු අවධාරණය කළේය.

කුමන රටක සිට පැමිණියත් අනිවාර්යෙන්ම ඔහු හෝ ඇය ලියාපදිංචි වියයුතු බවත් 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකතන ඇමතුමක් ලබාදෙමින් අවශ්‍ය උපදෙස් ලබාගෙන ළගම ඇති පොලිස් ස්ථානයේ ලියාපදිංචි වීමට අවස්ථාව සපසා ඇති බවත් අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මාර්තු 16 වෙනිදා සිට ශ්‍රී ලංකාවට පැමිණි සෑම පුද්ගලයෙකුගේම නම් සහ ලිපිනයන් මෙන්ම ඡායාරූපද සමග තිබෙන බවත් ලියාපදිංචි වීමට ලබාදී ඇති කාලය තුළ ලියාපදිංචිය පැහැර හරින අයට එරෙහිව දැඩි තීරණ ගෙනකටයුතු කරන බවත් අජිත් රෝහණ මහතා පැවැසීය.

මේ සෑම පියවරක්ම ගනු ලබන්නේ කොවිඩ් 19 වෛරසයෙන් ජනතාව ආරක්ෂාකර ගැනීමට බැවින් මේ කාලය තුළ විදෙස් ගතව සිට පැමිණ ලියාපදිංචි නොවී සිටින සෑම අයෙකුගෙන්ම කාරුණිකව ඉල්ලා සිටින්නේ වහාම ලියාපදිචි වන ලෙස බවද අජිත් රෝහණ මහතා පැවැසීය.

ලබන 01 වෙනිදායින් පසු එසේ ලියාපදිංචි නොවූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දියත් කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

Rate this item
(0 votes)