April 25, 2024

අකුරණ කොරෝනා ආසාදිතයා ආගිය තැන් හෙළිවෙයි - රෝහල්ගතවීමට පැමිණ ඇත්තේ යතුරු පැදියකින්

අකුරණ ප‍්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිතයාගේ පුතා, දියණිය සහ බෑණාද උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඊයේ (29) ඇතුළත් කළ බව වාර්තා වේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ නූර් මොහොමඞ් නිස්තාර් නම් අකුරණ ප‍්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා ආගිය තැන් පිළිබදවද මේ වනවිට තොරතුරු අනාවරණ වී ඇත.

ඒ අනුව ඉකුත් 15 වැනිදා ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මොහු සමග මෙරටට පැමිණි ඔහුගේ මිතුරා නිරෝධායනය සඳහා යොමුව ඇති බවද වාර්තා වේ.

නිරෝධායනයට යොමු නොවූ මෙම පුද්ගලයා ගෙලිඔය ප‍්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයකටද ගොස් ඇති බවට පොලීසියට තොරතුරු වාර්තා වී ඇත. එමෙන්ම ඔහු ගම්පොල පාවහන් අළෙවි සැලකටද ගොස් ඇති බව සිදුකළ පරීක්‍ෂණවලදී අනාවරණ වී තිබේ.

වෛද්‍යවරුන්ට තොරතුරු වසන් කළ මෙම පුද්ගලයා පෙරේදා (28) රෝහල්ගතවීම සදහා මහනුවර රෝහලට පැමිණ ඇත්තේ යතුරු පැදියකින් බවත් මොහු ව්‍යාපාරිකයෙකු බවත් අනාවරණ වී තිබේ.

ඔහු පදිංචිව සිටි අකුරණ, අලවතුගොඩ, තෙලඹුගහවත්ත ප‍්‍රදේශයේ පවුල් 347 ක් වෙසෙන අතර මේ වනවිට එම පවුල්වලට අයත් සියළු දෙනා දින 14 ක් සිය නිවෙස්වල නිරෝධායනයට ලක් කිරීමට ආරක්‍ෂක අංශ පියවර ගෙන තිබේ. එම ප‍්‍රදේශයේ පොලිස් මාර්ග බාධක 10 ක් යොදා ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ප‍්‍රදේශයේ ජංගම මුර සංචාරද ආරම්භ කර ඇති බව ආරක්‍ෂක අංශ පැවසීය.

මේ අතර පුත්තලම, කඩයන්කුලම ප‍්‍රදේශයේ ගම්මානයක කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හදුනා ගැනීමත් සමග වසා දැමුණු එම ගම්මානයේ සිටි පුද්ගලයින් නිරෝධායනය සදහා ප‍්‍රදේශයේ පාසලක් වෙත යොමු කර ඇත.

..

Rate this item
(0 votes)