April 19, 2024

අවදානම ඉහළ මට්ටමක - සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි Featured

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට කොරෝනා වෛරසය ආසාදනයවීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් එම අවදානම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

ලොවපුරා සිදුව ඇති කොරෝනා මරණවලින් වැඩි සංඛ්‍යාවක් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් බව වෛද්‍ය වාර්තාවල සඳහන් වේ.

මෙරට පළමු කොරෝනා මරණ පෙරේදා (28) වාර්තා වූ අතර එහිදී ද මියගියේ වයස අවුරුදු 60 ක පුද්ගලයෙකි. ඔහුද දියවැඩියාව සහ අධිරුධිර පීඩනය යන රෝගවලින් පෙළෙනු අයෙකු බව වෛද්‍යවරුන් සදහන් කළේය.

දියවැඩියාව, අධිරුධිර පීඩනය, පිළිකා වැනි රෝග වැළදී තිබෙන වැඩිහිටි පුද්ගලයින්ට මෙන්ම දුම්බීම සහ මත්පැන් පානය කරන පුද්ගලයින්ට කොරෝනා වෛරසය ආසාදනය වුවහොත් එවැනි පුද්ගලයින් බරපතල තත්ත්වයකට පත්විය හැකි බවට වෛද්‍යවරුන් අනතුරු අගවා තිබේ.

එනිසා මෙම කාලසීමාවේදී වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට නිවසේ රැදෙන ලෙසද සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.  

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වත්මන් කේන්‍ද්‍රස්ථානය බවට පත්ව ඇති අමෙරිකාවේ මරණ 10 න් 8 කටම ගොදුරුවී ඇත්තේ වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් බව දත්තවලින් තහවුරු වී ඇති බවද මෙහිදී පෙන්වා දෙයි. 

මැදි වයසේ පුද්ගලයින්ට මේ වෛරසය හැදුණොත් රෝහල් ගතවී ප්‍රතිකාර ගෙන සුව වීමට හැකියාවක් පවතින බව ශී‍්‍ර ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය පැවසුවාය. 

"මේ වෛරස් එක ඒ අයට පොඩි කැස්ස හෙම්බිරිස්සාවක් එක්ක ඇවිල්ලා අඩු වෙලා යන්න පුළුවන්. ඉතාමත් දුර්ලබ අවස්ථාවලදී තමයි මේ වෛරස් එක දරුවන්ට දරුණු වෙන්න පුළුවන්. මැදි වයසේ අයට මේක හැදුණොත් රෝහල් ගතවෙලා ප්‍රතිකාර ලබලා සුව වෙන්න පුළුවන්. " යනුවෙන් වෛද්‍යවරිය සඳහන් කළාය.

Rate this item
(2 votes)