May 25, 2020

සුවය ලැබු තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු රෝහලෙන් පිටව යයි

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු සුවය ලබා තිබේ.

මේ අතර අද(28) පෙරවරු 10.00ට යාවත්කාලීන වූ කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ දෛනික වාර්තාවට අනුව මෙරටින් කිසිදු කොරෝනා වෛරස් ආසාදිතයෙකු හමු වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මෙතෙක් රෝගීන් 106 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් නව දෙනෙකු සුවය ලබා තිබේ.

ප්‍රතිකාර ලබන 97 දෙනාගෙන් 87 දෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ද නව දෙනෙකු වැලිකන්ද මූලික රෝහලේ ද එක් අයෙකු මුල්ලේරියාව මූලික රෝහලේ ද ප්‍රතිකාර ලබයි.

වෛද්‍ය අධීක්ෂණය යටතේ දිවයිනේ රෝහල් කිහිපයක අද පෙරවරු 10.00 වන විට පුද්ගලයන් 109 දෙනෙකු සැකපිට රදවා තබා ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

 මෙතෙක් වාර්තා වූ ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම අගය 25කි.

කළුතර දිස්ත්‍රික්කයෙන් 15 දෙනෙකු ද ගම්පහ දිස්ත්‍රික්කයෙන් දස දෙනෙකු ද පුත්තලම දිස්ත්‍රික්කයෙන් 09 දෙනෙකු ද වාර්තා වෙයි.

මේ අතර ඊයේ සම්පූර්ණයෙන් වසා දැමුණු බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිතයාගේ පියා සහ සහෝදරිය ද රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

Rate this item
(0 votes)