March 29, 2024

කොරෝනා පරීක්ෂණයට හෝමාගම රෝහලට ගෙනා රෝගියා රෝහලෙන් පැන යාමට උත්සහ කරලා

හෝමාගම මූලික රෝහල මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබවට සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් ලෙස නම්කර ඇති බැවින් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම්කළ රෝගියෙකු පසුගියදා පානදුර රෝහලේ සිට හෝමාගම රෝහල වෙත මාරුකර එවා තිබේ.

එහිදී අදාළ රෝගියාට කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය වැළඳී ඇත්දැයි සොයාබැලීම සඳහා පරීක්ෂණ කටයුතු සිදුකර ඇත. පසුව තහවුරු වී ඇත්තේ එම වෛරසය අසාදනය වී නොමැති බවයි.

අනෙක් කරුණ නම් මෙම පුද්ගලයා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූවෙකු බව අදාළ පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

ඔහුගේ මෙම අසාත්මිකතාවලට හේතුව දින කිහිපයක් තිස්සේ මත්පැන් නොමැතිවීම බව ද වැඩිදුර පරීක්ෂණවලදී වෛද්‍යවරුන් තහවුරු කරගෙන තිබේ.

ඔහු රෝහලෙන් නිදහස් කිරීම සඳහා භාරකරුවෙකු පැමිණෙනතුරු රඳවාගෙන ඇති අතර ඊයේ දිනයේ මෙම රෝගියා රෝහලේ ගොඩනැගිල්ලක සැඟවීමට උත්සාහ ගැනීම හේතුවෙන් රෝහල් බලධාරීන්ට සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලයට ඔහු මෙල්ලකර ගැනීමට පොලිසියේ ද සහය ගැනීමට සිදුවිය.

ඔහු මෙලෙස සැඟවී සිට පැන යාමට උත්සහ දරා ඇති බවට හෙළිවී ඇති අතර අවසානයේ මෙම රෝගියා රෝහල් බලධාරීන් සහ පොලිසියේ මැදිහත්වීමෙන් නැවත පානදුර රෝහල වෙත යැවූ බව වාර්තා වේ.

මොහු මහනුවර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙකු බවට වැඩිදුර තොරතුරු අනාවරණ වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 March 2020 12:20