March 29, 2024

ඇඳිරි නීතිය කඩකලොත් ඇප නෑ - ඇඳිරි නීතිය අකුරටම පිළිපදින්නැයි රජය දන්වයි

පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කරන පුද්ගලයින්ට පොලිස් ඇප ලබා නොදෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ අතර ජනාධිපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අද පස්වරුවේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ දැනට රටපුරා ක්‍රියාත්මකව පවතින ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙසයි.

ඇඳිරි නීති කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගතහැකි වන පරිදි නොකඩවා සැපයීමට, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ කළමනාකරණය භාර කාර්ය සාධන බලකාය සියලු විධිවිධාන සලසා ඇති බවද එම නිවේදනයේ දැක්වෙයි.

එමෙන්ම ඇඳිරි නීති කාලය තුළ කිසිවෙකු සිය අභිමතයට මාර්ගවලට පැමිණීම නොකළ යුතු බවද එම නිවේදනයේ සඳහන්.

කාර්ය සාධන බලකාය විසින් අවසර දී ඇති බෙදාහැරීම් සේවා සිදුකරන වාහන පමණක් මාර්ගවල ධාවනය කිරීමට හැකි අතර අන් කිසිදු වාහනයක් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව ධාවනය නොකළ යුතුයි.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් වන අතර විදේශීය සංචාරකයින් තැනින් තැනට ගෙනයාමද මුලුමනින්ම තහනම් වෙයි.

කුමන දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් කටයුතු,කුඩා තේවතු ඇතුළු වැවිලි වගා වැඩ සහ ධීවර කර්මාන්තයට අවසර හිමි වන අතර ගුවන් තොටුපොළ හා වරාය සේවා පවත්වාගෙන යායුතු බව ජනාධිපති කාර්යාලය නිකුත් කළේ නවතම ඇඳිරි නීති උපදෙස් මාලාවේ සඳහන්ය.

මේ අතර ඇඳිරි නීතිය පැනවූ පසුගිය 20 වන සිකුරාදා පස්වරු 06 සිට අද පෙරවරු 06 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 4,018 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ ඒ සමග වාහන 1,033ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මේ අතර රජය ලබා දෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ මහජනතාව අපහසුතාවට පත් වන ආකාරයේ ක්‍රියාකාරකම් පිළිබඳව පැමිණිලි 0114 35 45 50 හෝ 0114 35 46 55 යන දුරකතන අංක ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මීට අමතරව  කොරෝනා වෛරසය පැතිරයාම ආශ්‍රිත දැනුම්දීම් 0112 86 000 3, 0112 86 000 4 යන අංක ඔස්සේ ජනතාවට ඉදිරිපත් කළ හැකි වන අතර ඒවා අදාල අංශ වෙත කඩිනමින් යොමු කිරිමට නියමිතයි. 

Rate this item
(0 votes)