March 29, 2024

වෛද්‍ය පහසුකම් කිසිවක් නැහැ.මිනිස්සු මැරෙනවා.- අමෙරිකාවේ වෛද්‍යවරියක් ජීවිතය ගැන නොතකා සියල්ල හෙළිකරයි

මේ වන විට කොරෝනා වෛරසය පැතිරීමේ කේන්ද්‍රස්ථානය බවට පත් වෙමින් තිබෙන අමෙරිකා එක්සත් ජනපදයෙන් පැය 5 කට අඩු කාලයක් තුළ අලුතින් තහවුරු ‍වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 10,000 ඉක්මවා තිබේ.

සතියකට පෙර අමෙරිකාවෙන් ආසාදිතයින් 18,200 ක් සහ මරණ 241 ක් වාර්තා වී තිබූ අතර අද වන විට එරටින් ආසාදිතයින් 85,996 ක් සහ මරණ  1,196 ක් වාර්තාවී තිබීම අමෙරිකාව මුහුණ පා ඇති භයානක තත්ත්වය පෙන්නුම් කරයි. 

අමෙරිකාවේ නිව්යෝර්ක් ජනපදය කොරොනා වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට මේ වන විට පත්ව තිබේ.

මේ අතර අමෙරිකාවේ, නිව්යෝර්ක් නුවර අයත් ක්වින්ස් නගරයේ පිහිටි එල්ම්හර්ස්ට් රෝහල අද වන විට කොරෝනා ආසාදිතයින් රැසකගෙන් පිරී ගොස් තිබේ.

එම රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරියක් පැවසුවේ කොරෝනා ආසාදිතයින්ගෙන් පිරී පවතින රෝහල තුළ පහසුකම් අවම වීම හේතුවෙන් ආසාදිතයින් රැසක් මියයන බවයි.

රෝහල තුළ සිය අත්දැකීම් ඇය නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට යොමුකර තිබේ.

 නිව්යෝර්ක් නුවර එල්ම්හර්ස්ට් රෝහලේ වෛද්‍ය කොලින් ස්මිත් වැඩිදුරටත් මෙසේ පැවසීය.

"මේ කාමරය තුළ සිටින සියලුදෙනාම කොරෝනා වෛරස ආසාදිතයින්. අද වන විට තත්ත්වය ඉතා භයානකයි. අපි විශාල අධීශීතකරණ ට්‍රක් රථයක් ගෙන්වා ගත්තා මෘතදේහ ගබඩා කරන්න. ජනාධිපතිවරයාගේ සිට සියලුම නායකයින්, නිලධාරීන්, සෞඛ්‍ය හා රෝහල් ප්‍රධානීන් කියන්නේ හැමදේම හොඳින් සිදුවෙනවා කියලා. නමුත් අපේ පැත්තෙන් හොඳ නැහැ. මගේ රෝගීන් වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය පහසුකම් කිසිවක් නැහැ. මේ අමෙරිකාව අපි පළමු ලෝකයේ රටක්. සාමාන්‍ය දිනයකදී හදිසි අංශයට පැමිණෙන පිරිස ඉතා ඉහළයි. දිනකට පුද්ගලයින් 200 ක්. නමුත් අද 400 හෝ ඊට වැඩි පිරිසක් දැකගන්න පුළුවන්. අපිට අවශ්‍ය ආරක්ෂිත උපකරණ පවා දැන් නැහැ.“

“මම අද උදෑසන N95වර්ගයේ මුඛ ආවරණයක් පැලඳුවා. අද පැලඳූ ඒ මුඛ ආවරණය තමයි පසුගිය සිකුරාදා දිනයේදීත් මම පැලඳුවේ. හැමදෙනාම කියන්නේ හැමදෙයක්ම හරි යයි කියලා නමුත් මෙය මාසයක්, දෙකක්, තුනක් හෝ පහක් පැවැතුණොත් හරියට චීනයේ වගේ අපිට අවශ්‍ය කිසිම දෙයක් අපිට නැහැ. මට මේ ගැන මාධ්‍යයට කතා කරලා ප්‍රශ්නයක් වුණත් ඒ ගැන අවුලක් නැහැ. මට ජනතාවට කියන්න ඕන මෙය ඉතා නරක තත්ත්වයක්, මිනිස්සු මැරෙනවා." යැයි ඇය ප්‍රකාශයක් කරමින් පවසා තිබේ.

මේ අතර, අමෙරිකාවේ වොෂිංටන් විශ්වවිද්‍යාලය සිදුකරනු ලැබු දත්ත විශ්ලේෂණයක් මඟින්, වෛරසය වසංගතයෙන් එක්සත් ජනපදයේ පුද්ගලයන් 81,000 කට වැඩි පිරිසක් ඉදිරි මාස හතර තුළ මිය යා හැකි බවට ආන්දෝලනාත්මක අනාවරණයක් සිදුකර ති‍බේ.

එමඟින් පෙන්වා දෙන්නේ ජුනි මාසය දක්වා තත්ත්වය පහව නොයනු ඇති බවයි.

Rate this item
(2 votes)
Last modified on Friday, 27 March 2020 22:56