March 28, 2024

දහඅට ලක්ෂය ඉක්ම වූ ජනතාවක් මිය යා හැකියි..ලොව සෑම පුද්ගලයෙකුටම කොරෝනා ආසාදනය විය හැකියි - පර්යේෂකයන් අනතුරු අඟවයි Featured

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට ලොව පුරා රටවල් දැඩි පියවර ගනු ලැබූවද, ගෝලීය වසංගතයෙන් ලොව පුරා දහඅට ලක්ෂය ඉක්ම වූ ජනතාවක් මිය යා හැකි බව ලන්ඩන් රාජකීය විද්‍යායතනයේ විද්‍යාඥයන් පිරිසක් පෙන්වා දෙයි.

රජයන් මගින් කොරෝනා වෛරස් ආසාදිතයන් පරීක්ෂා කිරීම, වෙන් කිරීම සහ සමාජ දුරස්ථභාවය ක්‍රියාත්මක කිරීම සඳහා දැඩි පියවර ගනු ලැබුවහොත් මිලියන සංඛ්‍යාත ජීවිත බේරා ගැනීමට හැකිවනු ඇති බව ඔවුන් අවධාරණය කරයි.

මේ වනවිට ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂ 31,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව 24,000 කට අධිකය.

ලන්ඩන් රාජකීය විද්‍යායතනයේ පර්යේෂකයන් නව අනාවැකිය නිකුත් කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත සහ අනුපාත මෙන්ම ජන විකාශ සහ සමාජ සාධක සැලකිල්ලට ගනිමිනි.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා නිසි පියවර අනුගමනය නොකළහොත්, වෛරසය ලොව සෑම පුද්ගලයෙකුටම ආසාදනය විය හැකි අතර, මිලියන 40ක් ජනයා මිය යා හැකි බව ලන්ඩන් රාජකීය විද්‍යායතනයේ පර්යේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර කොරෝනා වෛරස් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සුනඛයන් පුහුණු කළ හැකි ද යන්න පිළිබදව බ්‍රිතාන්‍යය පර්යේෂණයක් ආරම්භ කර තිබේ.

ලන්ඩනයේ සෞඛ්‍ය සහ ඝර්මකලාපීය වෛද්‍ය පාසල සහ ඩර්හැම් විශ්වවිද්‍යාලය මෙම පරීක්ෂණය සිදුකරනු ලබන්නේ සුනඛයන්ට ඉව කිරීමෙන් කොවිඞ් නයින්ටීන් ආසාදිතයන් හඳුනාගත හැකි ද යන්න පිළිබදවය.

මැලේරියා රෝගීන් හඳුනා ගැනීම පිළිබදව ද මීට පෙර බ්‍රිතාන්‍යයේ සුනඛයන් යොදාගෙන පර්යේෂණයක් සිදුකෙරිණි.

බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වන විට 11,812ක් වන අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 578කි.

Last modified on Friday, 27 March 2020 14:08