April 20, 2024

ගෝඨා බැසිල්ට බලතල දෙයි - ජන ජීවිතය නඟා සිටුවන මෙහෙයුම් බලය ජනපති කාර්ය සාධක බලකායට පවරයි

ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ දී සමස්ත ජන ජිවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා වූ මෙහෙයුම් බලය දැන් ස්ථාපනය කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකායට පවරා තිබේ.

ජනාධිපති ‍මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.

ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා බලකායේ සභාපති ධූරයටත්,  අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා මහතා ලේකම් ධූරයටත් පත් කර ඇත. 

පළාත් ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ රැසක ලේකම්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, දෙපාර්තමේන්තු, සංස්ථා සහ අධිකාරි රැසක සභාපතිවරු, දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු  40 දෙනෙක් එහි සාමාජිකයෝ වෙති.

ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් නිවේදනයක් මඟින් කාර්ය සාධක බලකායට පැවරෙන බලතල සහ කාර්යයන් ප්‍රකාශයට පත් කර තිබේ.

කොරෝනා වෛරසය පැතිරයාමේ වැඩි අවදානමක් සහිත කොළඹ, කළුතර, ගම්පහ, පුත්තලම, යාපනය, මන්නාරම, කිලිනොච්චිය, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලට ප්‍රමුඛත්වය දෙමින් සෙසු දිස්ත්‍රික්ක කෙරෙහි ද කාර්ය සාධක බලකාය අවධානය යොමු කළ යුතුයි.

වී, ධාන්‍ය, එළවළු, මාලු, කිරි හා බිත්තර නිෂ්පාදන සහ තේ, කුරුඳු, ගම්මිරිස් වැනි වැවිලි නිෂ්පාදන සඳහා ගොවීන්ට පහසුකම් සැලසීම සෙසු කාර්යයන් අතර ප්‍රධාන තැනක් ගනී. 

අත්‍යාවශ්‍ය වියළි ආහාර හා ඖෂධ ආනයනය මෙන්ම තේ, සනීපාරක්ෂක ඇඳුම් වැනි අපනයන පහසුකරනු පිණිස ශ්‍රී ලංකා වරාය, රේගුව, ආයතනික බැංකු සහ සෙසු රාජ්යු නියමන ආයතන සමග සම්බන්ධිකරණය හා තීරණ ක්‍රියාත්මක කිරීම තවත් කාර්යයකි. 

ග්‍රාමීය වශයෙන් හා නිෂ්පාදකයින් විසින් සපයනු ලබන ආහාර ඝෘජුවම පාරිභෝගිකයින්ට ලබාදීම, මෙහෙයුම් වාර්තා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම කාර්ය සාධක බලකාය සතුයි. 

සේවා සැපයීම පිණිස සහය ඉල්ලා සිටිය හැකි සියලුම රජයේ නිලධරයන් හා එබඳු සෙසු පිරිස් තත්කාර්ය සම්බන්ධයෙන් උපදෙස්වලට අනුකූලව ක්‍රියා කළ යුතුය. 

සියලු සහය සහ තොරතුරු ලබාදිය යුතු බවද රජයේ නිලධාරීන්ට සහ සෙසු තැනැත්තන්ට චක්‍රලේඛ මඟින් ජනාධිපතිවරයා නියම කර තිබේ.

නිලධාරියෙකු විසින් පවරන ලද රාජකාරී හා වගකීම් ඉටුකිරීම ප්‍රමාද කරන හෝ පැහැර හරින හෝ සියලු අවස්ථා ජනාධිපතිවරයා වෙත වාර්තා කරන ලෙස ද කාර්ය සාධක බලකායට නියම කර ඇත.

Rate this item
(0 votes)