April 25, 2024

හෝටලයකින් එළවා දැමූ විදෙස් යුවළක් කූඩාරමක - සංචාරකයින් 20000කට ආසන්න පිරිසක් ලංකාවේ කොටුවෙයි

නව කොරෝනා වෛරස් ව්‍යාප්තිය සහ ඇඳිරි නීතිය පැනවීමත් සමඟ ඇතැම් විදෙස් සංචාරකයින්ට නවාතැන් ගැනීමේ ස්ථාන පවා අහිමි වුණි. 

බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ හෝටලයකින් එළවා දැමූ විදෙස් යුවලක් දින හතරක් ඉඩමක කූඩාරමක සිටියදී සොයා ගැනීමට හැකි වූ බව ඇල්ල පොලිසිය කියයි. 

නව කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ බණ්ඩාරවෙල ඇල්ල සංචාරක නගරය පසුගිය මාර්තු 09 වනදා සිට සම්පූර්ණයෙන් වසා දැමීමට පියවර ගැනුණි.

ඒ අනුව ප්‍රදේශයේ සංචාරක නිකේතන වල රැඳී සිටි බොහෝ පිරිසක් පිටව ගොස් තිබූ අතර අලුතින් සංචාරකයින් භාර ගැනීමක් සිදුව තිබුණේ නොමැත.

එලෙස තමන් රැඳී සිටි කිතල්ඇල්ල ප්‍රදේශයේ සංචාරක නිකේතනයෙන් පිටව යන ලෙස දැනුම් දීමත් සමඟ සංචාරක යුවළක් නවාතැන් ගැනීමට ස්ථානයක් නොමැතිව ප්‍රදේශයේ අවහන්හලක් පිහිටි ඉඩමක කුඩාරමක් අටවාගෙන තිබේ. 

පොලීසියට සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ඊයේ මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති අතර ඒ අනුව ඔවුන් එහි පැමිණියේය.

ඒ අනුව විදේශීය සංචාරක යුවලට එම අවන්හල පවත්වාගෙන යන නිවසේම පිහිටි නවාතැන්පළේ නවාතැන් සපයන ලෙස පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා උපදෙස් ලබා දී තිබේ.

එම ස්ථානයේ තවත් විදේශිකයින් තිදෙනෙකු මේ වන විට රැඳී සිටියි.

කොරෝනා හේතුවෙන් විදේශිය ජාතිකයන්ට හෝටල් වල නවාතැන් දීමේදී ඇතිවන ගැටලු නිසා හෝටල්වල නවාතැන් දීම හෝටල් හිමියා ප්‍රතික්ෂේප කරමින් සිටියි.

මේ අතර මෙරට රැඳී සිටින විදෙස් සංචාරකයින් කඩිනමින් සිය රටවල් වෙත යැවීමේ වැඩපිළිවෙළක් සැකසිය යුතු බවයි ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ ආයතනය පවසයි.

කෙසේ වෙතත් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ මේ වන විට රට තුළ විදෙස් සංචාරකයින් 19,450 ක් පමණ සිටින අතර දැනට ක්‍රියාත්මක ගුවන් ගමන් වාර මගින් ඔවුන් දිවයිනෙන් පිටත්ව යෑම් සිදුවෙමින් පවතින බවයි.

Rate this item
(0 votes)