March 28, 2024

ඡන්ද දිනය නියම වන තෙක් මනාප අංක නෑ - මැතිවරණය කල් දැමීම ගැසට් කරයි

පාර්ලිමේන්තු මැතිවරණය අනිවාර්යයෙන්ම මැයි මස 14 වැනිදායින් ඔබ්බෙහි වූ දිනයක පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ අනුව අපේක්ෂකයින්ගේ මනාප අංක ඡන්දය විමසීම් දිනය, නියම කෙරෙන තෙක් නිකුත් නොකරන බවද සභාපතිවරයා සඳහන් කළේය.

මේ හේතුවෙන් සියලු ආකාරයේ පක්ෂ,අපේක්ෂක ප්‍රචාරණ කටයුතු අත්හිටුවා කොරෝනා වෛරසය පැරදවීමට ක්‍රියාත්මක වන ලෙස සියලු දේශපාලන ක්‍රියාකාරිකයින්ගෙන් ඉල්ලා සිටින බවද සභාපතිවරයා දන්වා සිටියි.

අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි වන බව දැක්වෙන ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර තිබේ.

අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1981 අංක දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 - 3 වගන්තිය යටතේ මැතිවරණ කොමිසන් සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

මැතිවරණ දිනය පසුව ගැසට් කරයි

එමඟින් දක්වා ඇත්තේ මෙරට තුළ පැතිරී යන කොවිඩ් 19 ව්‍යසන තත්ත්වය හේතුවෙන් මහ මැතිවරණය මීට පෙර නියම කරගත් පරිදි අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නොහැකි වී ඇති බවයි.

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය ලෙස අප්‍රේල් මස 30 වනදා පසුවී දින 14 කට පසු දිනයක් නියම කරනු ලැබෙනු ඇති බවත්, එම දිනය පසුව නිකුත් කරනු ලබන ගැසට් නිවේදනයක් මගින් ප්‍රසිද්ධ කරනු ලබන බවත් එහි දැක්වේ.

රටේ පවතින තත්ත්වය සලකා බලා අප්‍රේල් 25 වන දා මහ මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැති බව, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පසුගිය 19 වනදා එම කොමිසමේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කලේය.

මැතිවරණය කල් දැමීමේ ගැසට් පත්‍රය පහතින්,

Rate this item
(0 votes)