March 28, 2024

ශ්‍රීලනිපය දෙකඩ වෙයි! පිරිසක් පොහොට්ටුවේ - පිරිසක් රතන හිමිගේ පක්ෂයෙන් මැතිවරණයට Featured

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ මහ මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක හා එම පක්‍ෂයේ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන මහත්වරුන් බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (18) නාම යෝජනා පත්‍රයට අත්සන් කළහ.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන නිදහස් සන්ධානයේ නාමයෝජනා පත්‍ර සකස් කිරීමේදී කොළඹ, අනුරාධපුර, කුරුණෑගල, ගම්පහ ඇතුළු බොහෝ දිස්ත්‍රික්කවලින් අවම අවස්ථාවන් ලබාදීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නාමයෝජනා පත්‍ර අත්සන් කිරීම වර්ජනය කර තිබිණි.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහත්වරුන් පෙරේදා (17) සාකච්ඡා කර ඉහත දිස්ත්‍රික්කවලට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තවත් අපේක්‍ෂකයකුට අවස්ථාව ලබාදීමට තීරණය කෙරිණ.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජන කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා දුමින්ද දිසානායක හා වීරකුමාර දිසානායක මහත්වරුන්ට අමතරව හිටපු අමාත්‍යවරයකු වූ තිස්ස කරලියද්ද මහත්වරුන් පෙරේදා දිනයේදී නාමයෝජනා පත්‍රවලට අත්සන් කළහ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතාද ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා පත්‍රයට පෙරේදා අත්සන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල හා ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභවේ හිටපු නගරාධිපතිවරයකු වූ ජනක රණවක මහත්වරුන් පෙරේදා (17) නාමයෝජනා පත්‍රවලට අත්සන් කර තිබිණ.

මේ අතර අපේ ජනබල පක්ෂය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හිටපු අමාත්‍යවරයෙකු වන ජීවන් කුමාරණතුග මෙන්ම හිටපු බස්නාහිර පළාත් සභා අමාත්‍යවරයෙකු වන ගාමිණී තිලකසිරිද ඊයේ නාමයෝජනා සඳහා අත්සන් තැබුවා.

Rate this item
(1 Vote)