April 20, 2024

නිරෝධායනය කරන අයගෙන් මුදල් අය කරන්නේ නෑ - සෞඛ්‍ය ඇමැතිනී

නිරෝධායනය කරන පුද්ගලයෙකුගෙන් ආහාර සඳහා ලෙස මුදල් අය කිරිමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා  කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පැවසුවාය.

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය හා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානවලින් දෛනිකව සපයනු ලබන ආහාර වෙනුවෙන් රුපියල් 7500ක මුදලක් අය කරන බවට පළ වන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බවද ඇමැතිවරිය සඳහන් කළාය.

ඒ අනුව ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානය යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලංකා ජාතිකයන් හා විදේශ ජාතිකයන් නිරෝධායනය කිරීමේදී ආහාර සඳහා අයකරන රුපියල් 7500ක ගාස්තුව අය කිරීම නැවැත්විමට රජය තීරණය කර තිබේ.

දින 14ක නිරෝධායන කාලය වෙනුවෙන් ආහාර සඳහා රුපියල් 7500ක් අය කරන බවට එම රටවලින් පැමිණෙන ගුවන් මගින්ට ලබාදෙන අයදුම් පත්‍රයේ සඳහන්ව තිබුණි. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෙට දිනයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව අමාත්‍යාංශය ආරංචි මාර්ග පැවසී ය.

කෙසේ වෙතත් නිරෝධායනය කරන පුද්ගලයෙකුගෙන් අවශ්‍ය ආහාර වෙනුවෙන් මුදල් ගෙවීමට සිදුවන අතර ඒ සඳහා දින 14ක ආහාර වේල් තුන සඳහා රුපියල් 7500 ක මුදලක් වැය කිරීමට සිදුවන බව දැනුම් දෙමින් පත්‍රිකාවක් අදාල නිරෝධායනය සඳහා යොමු කරන අයට ලබා දී ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් එම ස්ථානයන් වෙත යොමු කර ඇති ජනතාව සිය විරෝධය දක්වමින් කලහකාරී ලෙස හැසිරී තිබේ.

ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලයේ නිරෝධානයට යොමුකිරිමට රජය මේ වනවිටත් කටයුතු කර තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 March 2020 12:50