March 28, 2024

පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය ජනපති අතට - විසුරුවා හැරීමේ ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රියේ

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව වසර 4 ½ ක කාලසීමාවකින් පසුව වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය විධායක ජනාධිපතිවරයාට ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට හිමිවී තිබේ.

ඒ අනුව වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට කටයුතු සූදානම් කැර ඇතැයි තොරතුරු හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (01) මාතර දී සඳහන් කළේය. 

මේ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ගුරු සංගමයේ රැස්විමක දී රණතුංග මහතා සඳහන් කළේ අද (02) මධ්‍යම රාත්‍රියේ දී වත්මන් පාර්ලිමේන්තුව අනිවාර්යෙන් ම විසුරුවා හරින බවත් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී ස්ථාවර ආණ්ඩුවක් පත් කර ගැනීමෙන් වර්තමානයේ ජනතාව මුහුණ දෙන ගැටළු රැසක් විසදා ගත හැකි වනු ඇති බවත් ය.

වසර 2015 අගෝස්තු 16 වැනිදා පැවති මහා මැතිවරණයෙන් ජයගත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුව එම වසරේ සැප්තැම්බර් 1 වැනිදා පළමුවරට රැස්විය. එදින සිට වසර 4 ½ ක ගත වූ පසු එය විසුරුවා හැරීමේ බලය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) උප වගන්තිය යටතේ විධායක ජනාධිපතිවරයාට බලය පැවරී ඇත.

ඒ අනුව වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පළමු අවස්ථාවේදීම සිදු කිරීම සඳහා අදාළ වූ ගැසට් පත්‍රය අද (02) නිකුත් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය වසරේ නොවැම්බර් 17 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගෙන මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරීපත් විය. අනතුරුව නව කැබිනට් මණ්ඩලයක් සහ රාජ්‍ය හා නි‍යෝජ්‍ය ඇමැති මණ්ඩලයක් පත්කොට අන්තර්කාලීන ආණ්ඩුවක් ගෙනයමින් සිටි. තවදුරටත් මේ ආණ්ඩුව යටතේ ඉදිරියට යාමට බලාපොරොත්තු නොවී නව ශක්තිමත් ජනවරමක් ලබාගනිමින් සෞභාග්‍යයේ දැක්මට අනුව රට ඉදිරියට ගෙන යෑමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අපේක්ෂා කරයි.

Rate this item
(0 votes)

Related items