May 27, 2020

කෝමාරිකා වගාවට විල්පත්තුවෙන් එක බිම් අඟලක් මම දුන්නේ නෑ - චෝදනා වලට චන්ද්‍රසේනගෙන් පිළිතුරු

තමන් විල්පත්තු ජාතික වනෝද්‍යනයෙන් එක් බිම් අඟලක් හෝ කිසිඳු සංවර්ධන කටයුත්තකට ලබාදී නොමැති බව පරිසර අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසයි.

අමාත්‍යවරයා ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ එම චෝදනාව ඔප්පුකළහොත් තමන් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බවයි.

එස්.එම් චන්ද්‍රසේන අමාත්‍යවරයා කොමාරිකා ව්‍යාපෘතියක් සඳහා විල්පත්තු ජාතික වනෝද්‍යානය හෙළි පෙහෙලි කිරීමට ඉඩ ලබා දී ඇතැයි පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාර පැතිර ගියේය.

ඒ අනුව අමාත්‍යවරයා අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඊට ප්‍රතිචාර දැක්වීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ අනුරාධපුර රාජාංගණය ප්‍රදේශයේ කෝමාරිකා වගා කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් සිදු කරන බවත් එය පසුගිය රජයෙන් ආරම්භ කළ එකක් බවත්ය.

ව්‍යාපෘතිය සිදුකරන ආයෝජකයා තමන්ට නිරීක්ෂණ චාරිකාවකට ආරධනා කළ බවත් එය අනුරාධපුරයට ගැලපෙන ව්‍යාපෘතියක් බවත් ඒ මහතා පැවසීය.

තමන් එම ආයෝජකයාට ගොවිජනයා සමබන්ධකර දීමට පොරොන්දු වු බවත් ඒ මහතා පැවසීය.

එය ඩොලර් මිලයන 370ක ව්‍යාපෘතියක් බවත් අමෙරිකාවේ ව්‍යාපාර කරන තරුණයෙක් විසින් මෙම ව්‍යාපෘතිය සිදු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

තමන් ඔහුට උදව් කළ හැකි බව පැවසු බවත් කිසිදු විටෙක විල්පත්තුවේ එක බිම් අඟලක් හෝ තමන් නොදුන් බවත් ඒ මහතා කියා සිටියේය.

තම පක්ෂයේම ඇතැම් පුද්ගලයින් විසින් මෙම බොරු ප්‍රචාර තමන්ට මඩ ගැසීමට සිදු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම අදාළ ව්‍යාපෘතියට ගොවීන් 86 දෙනෙකු සිය කැමැත්තෙන් ඒ සඳහා අවසර ලබා දී ඇති බවත් එස් එම් චන්ද්‍රෙස්න මහතා කියා සිටියේය.

Rate this item
(0 votes)
Last modified on Friday, 28 February 2020 20:19