May 27, 2020

ගාල්ලේ පාසල්වල ඉංග්‍රීසි ගුරු හිඟය විසඳන්නැයි ජනපතිගෙන් උපදෙස්

ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසල්වල පවතින ඉංග්‍රීසි ගුරු හිඟය විසඳන්නැයි ද ගණිත හා විද්‍යා විෂය ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු බඳවාගන්නා ක්‍රමවේද විධිමත් කරන්නැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගාල්ලේදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර බිහිකිරීමේ අරමුණ ක්‍රියාවට නංවමින් නව තාක්ෂණය මඟින් කාලීනව ඉංග්‍රීසි, ගණිත හා විද්‍යා විෂය ඉගැන්වීමට පසුබිම සකසන්නැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.

දිස්ත්‍රික්කවල ජන ගැටලුවලට කඩිනම් විසඳුම් දීමේ අරමුණින් සංවිධානය කෙරෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාලාව යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම හෝමාදොළ රාජගිරිය ලෙන් විහාරස්ථානයේ පැවැති රැස්වීමට එක්වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව ප්‍රකාශ කළේය.

සංඛ්‍යා ලේඛන අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ දුප්පත්ම ග්‍රාමයක් වන උඩුගම, හෝමාදොළ, කොතලාවලපුර ග්‍රාමය ජනාධිපතිවරයා විසින් තෝරා ගනු ලැබ තිබිණි. මෙලෙස පැවැත්වෙන දිස්ත්‍රික් කමිටු රැස්වීම් සඳහා වැය වන මුදල් සීමා කර ඉන් ලැබෙන ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අරමුණ වී ඇතැයි ද ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.

සාකච්ඡාව ආරම්භයේ දී දිස්ත්‍රික්කයේ නගර, ග්‍රාමීය ආර්ථික සංවර්ධන සහ ආපදා කළමනාකරණ සැලසුම් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරිණ. දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන දේශපාලන, සමාජ, ආර්ථික ගැටළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ මෙහිදි සාකච්ඡාවට ලක් විය. දුගී බව තුරන් කිරීම, සැමට නිරෝගීමත් දිවියක් මෙන්ම මනා අධ්‍යාපන පසුබිමක් සැකසීම, කෘෂි හා ධීවර ක්ෂේත්‍රයන්හි කඩිනම් සංවර්ධනය පිළිබඳ විශේෂ අවධානය යොමු විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැස්වීමට සහභාගීවීමට යන මග දෙපස රැස්ව සිටී ජනතාව හමුවී ඔවුන්ගේ ප්‍රශ්න මොනවාදැයි විමසීය. කටුපොල් වගාවෙන් පරිසරයට වන හානිය පිළිබදව ජනතාව එහිදි ජනාධිපතිවරයාට පැමිණි කළහ. සාකච්ඡාවේ පළමු ගැටලුව ලෙස මේ පිළිබඳ අවධානය යොමු විය. ප්‍රදේශයේ පැන නැගී ඇති ජල හිඟයට කටුපොල් වගාව බෙහෙවින් බලපා ඇතැයි එහිදි ප්‍රදේශවාසීහු ජනාධිපතිවරයා දැනුවත් කළහ.

ඒ පිළිබඳ විධිමත් පාරිසරික අධ්‍යයනයක් වහාම සිදුකරන ලෙස උපදෙස් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටුපොල් වගාවෙන් ලාභ ලැබුණ ද පරිසරයට හානියක් සිදුවන්නේ නම් එම ලාභයෙන් පලක් නැතැයි ද පෙන්වා දුන්නේය. ඒ නිසා පරිසරයට හානියක් සිදුවන්නේ නම් කටුපොල් වගාව වහාම නතර කරන්නැයි ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පොල්තෙල් පරිභෝජනයට ජනතාව දිරි ගැන්විය යුතු එහිදි පෙන්වාදුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි ප්‍රතිඵලයක් ලෙස පොල් වගාව ද සංවර්ධනය වනු ඇතැයි කීවේය. රබර් ආශ්‍රිත කර්මාන්ත ශාලා රැසක් ආරම්භ කර තිබෙන නමුත් එහෙත් එම නිෂ්පාදනවලට අවශ්‍ය රබර් ප්‍රමාණවත් අයුරින් නොලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රබර් වගාව කෘෂිකර්මාන්තයක් ලෙස නගා සිටුවීමට පියවර ගන්නා ලෙස ද දැනුම් දුන්නේය. එය දිරි ගැන්වීම පිණිස රබර් ආනයනය වහාම නතර කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදි අවධානය යොමු කළේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසල්වල පවතින ඉංග්‍රීසි ගුරු හිගය පිළිබඳව ප්‍රදේශයේ දේශපාලනඥයෝ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළහ. කඩිනමින් එම පුරප්පාඩු පිරවීමටත්, ගණිත විද්‍යා විෂයන් ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරු මෙන්ම ක්‍රමවේදයන් විධිමත් කිරීමටත් ජනාධිපතිවරයා එහිදි නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර බිහි කිරීමේ අරමුණ ක්‍රියාවට නංවමින් නව තාක්ෂණය මගින් කාලීනව ඉංග්‍රීසි, ගණිත විද්‍යා විෂයන් ඉගැන්වීමට පසුබිම සකසන්නැයි ද ජනාධිපතිවරයා නිලධාරීන්ට පැවැසීය.

නෙළුව, නාගොඩ, උඩුගම ඇතුළු ප්‍රදේශ රැසක පැන නැගී ඇති පානීය ජල ගැටළුව පිළිබඳව ද දීර්ඝ වශයෙන් මෙහිදි සාකච්ඡාවට ලක් විය. දිස්ත්‍රික්කයේ පවතින අඩු පාඩු සහ ගැටලු ප්‍රමුඛතා පදනමෙන් විසඳීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දියත් කර ඇති ප්‍රජා සහ සෙසු ජල ව්‍යාපෘති නිම කිරීමට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබාදී පානීය ජල ගැටලුවට විසඳුම් ලබාදෙන්නැයි ද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේය. කොන්ත්‍රාත්කරුවන් නිසි අයුරින් වැඩ නිමකර නොමැතිනම් ඔවුන් වහාම ඉවත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදි නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ගැටළුව ද මෙහිදි සාකච්ඡාවට ලක් වූ ප්‍රමුඛ කරුණකි. ප්‍රාදේශිය මට්ටමින් ජනතාව දැනුවත් කර නිශ්කාෂන ව්‍යාපෘතිවලට සහාය වන ලෙස ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී පළාත් පාලන ආයතනවලට දැනුම් දුන්නේය.

ග්‍රාමීය වෛද්‍ය මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම කෙරෙහි ද මෙහිදි අවධානය යොමු වූ අතර වෛද්‍යවරුන්, හෙදියන් ප්‍රමාණවත් අයුරින් ඒවාට යොමුකර ජනතාවට අවශ්‍ය පහසුකම් සලසන්නැයි ද ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය. එමඟින් කොළඹ සහ ප්‍රධාන නගර ආශ්‍රිත රෝහල්වල තදබදය විශාල වශයෙන් අඩු කර ගත හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග හා පාලම් ඉදිකිරීම, ගංවතුර පාලනය, නාගරික සංවර්ධනයේ දී බලපා ඇති ගැටලුවලට විසදුම් ලබාදීම කෙරෙහි ද මෙහිදි අවධානය යොමු විය.

මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂී ස්ථානයක් ගාල්ල දිස්ත්‍රික්කයට හිමි වී තිබෙන කී ජනාධිපතිවරයා හික්කඩුව, වෙරළ තීරයේ සංචාරකයන්ගේ ආරක්ෂාව සහ ප්‍රදේශයේ වැදගත්කම පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් උපදෙස් දුන්නේය.

උණවටුන ආශ්‍රිතව සංචාරක පොලීසියක් වහාම ඉදිකිරීමට ද මෙම සාකච්ඡාවේදී තීරණය කෙරිණ. ධීවර කර්මාන්තය නගා සිටුවීමට දිස්ත්‍රික්කයේ ඇති ධීවර වරාය ආශ්‍රිත ගැටලු හඳුනාගෙන ඒ ඒ අමාත්‍යාංශ වෙත වගකීම් පැවරීමට ද ජනාධිපති ගෝඨාභය රාපජක්ෂ මහතා මෙහිදි පියරව ගත්තේය.

හඳුනාගත් ජන ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නැයි ඒ ඒ අමාත්‍යාංශ නිලධාරින්ට ජනාධිපතිතුමා එහිදි වැඩිදුරටත් දැනුම් දුන්නේය.

දීප ව්‍යාප්තව පැවැත්වෙන් දිස්ත්‍රික් කමිටු රැස්වීම් මාලාවට සමගාමීව පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින් පැළ සිටුවීමේ වැඩසටහනක් ද ජනාධිපත ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාවට නංවා තිබේ. ගාල්ල දිස්‍ත්‍රික්කයේ පැළ 300ක් සිටුවීමේ වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විහාරස්ථාන භූමියේ පැළයක් රෝපණය කළේය.

ගාල්ල දිස්ත්‍රික් නායක අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ මූලිකත්වයෙන් පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරිහූ එක්ව සිටියහ.

Rate this item
(0 votes)