March 29, 2024

රටපුරා මද්‍රසා පාසල් දහසක්..මක්නම් ඉගැන්වීම් අත්හිටුවන්න - ජාතික ආරක්ෂාව පිළිබඳ වාර්තාවක් Featured

February 27, 2020

මේ වනවිට රට පුරා මද්‍රසා ආයතන දහසකට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන බවත් ඉන් ලියාපදිංචි වී ඇත්තේ ආයතන 317ක් පමණක් බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.

මේ වන විට මද්‍රසා ආයතන 175ක් අලුතින් ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කර ඇති බවත් මෙම සියලු ආයතනවල සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 27,000ක් පමණ වන බවත් මෙම කාරක සභාව විසින් නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.

මුස්ලිම් දරුවන්ට පූර්ණ ඉස්ලාම් ආගමික අධ්‍යාපනය ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යා යුතු මද්‍රසා පාසල් සංඛ්‍යාව 50ක උපරිමයකට යටත් කළ යුතු බවද එම වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

දැනට මද්‍රසා ආයතනවල ඉගෙනුම ලබන සියලු සිසුන් 2023 වන විට පොදු අධ්‍යාපන ක්‍රමයකට අන්තර්ග්‍රහණය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ නිසි බලධරයා පත් කළ යුතු බවද සඳහන් කර ඇත.

මෙරට මුස්ලිම් ප්‍රජාවෙන් සියයට දෙකක් අන්තවාදී මතවාද වෙත නැඹුරුවක් දක්වන බවත් එය ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් විය හැකි බවත් එබැවින් ආරක්ෂක අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සමාජ සහ මනෝ විද්‍යාඥ්‍යයන්ගේද දායකත්වයෙන් එම පිරිස රැඩිකල් කරන ක්‍රියාවලියකට යොමු කළ යුතු බවත් එම කාරක සභාව සඳහන් කරයි.

ඒ සඳහා ඉන්දියාව අනුගමනය කරන රැඩිකල් කරන ක්‍රමවේදයට සමාන ක්‍රමවේදයක් සුදුසු බවද වර්තමානයේ ප්‍රචලිත වෙමින් තිබෙන මුදල් අයකරන මක්නම් ඉගැන්වීම් ක්‍රියාවලිය අත්හිටුවිය යුතු බවද එම කාරක සභාව අවධාරණය කර සිටී.

සිංහල පාසල, හින්දු පාසල, මුස්ලිම් පාසල යනුවෙන් දැනට ආගමික හෝ වාර්ගික අනන්‍යතාවක් සහිත නම් කර තිබෙන ජාත්‍යන්තර පාසල්වලින් එකී නම් ඉවත් කිරීමටද කාරක සභාව නිර්දේශ කර ඇත.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් ජයතිලක විසින් මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

Rate this item
(0 votes)