April 18, 2024

කොරෝනා ආරක්ෂක කමිටුව හදිසියේ රැස්වෙයි -  වෛරසය පැතිරීම ගැන තීන්දු රැසක් Featured

February 26, 2020

චීනයෙන් ලංකාවට වෛරසය පැමිණීම වැළැක්වීමට ගත් ආරක්ෂිත පියවර වලට වඩා  දැඩි ආරක්ෂිත පියවර ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය පැවසුවාය.

කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව ඇමැතිවරියගේ උපදෙස් පරිදි ඊයේ (25) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හදිසියේ රැස්විය.

කොරෝනා වෛරසය පිළිබදව ජාතික ආරක්ෂක කමිටුව හදිසියේ රැස්වීමට ප්‍රධාන හේතුව වූයේ කොරියාව, ඉතාලිය හා මැදපෙරදිග රටවල් කිහිපයක කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙනි. මෙම කමිටු රැස්වීමේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ලෝකයේ මේ වන විට කොරෝනා වෛරසය පැතිරයාමේ වත්මන් තත්ත්වය පිළිබදව සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

විශේෂයෙන්ම කොරියාව, ඉතාලිය හා මැදපෙරදිග රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ඉදිරි අවුරුදු නිවාඩු කාලය තුල මෙරටට පැමිණීමත්, විද්ශකයින් පැමිණීමත් හේතුවෙන් මෙම රෝගය ශ්‍රී ලංකාව තුලට පැතිරීම වළක්වා ගැනීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව ද මෙහිදී සාකච්ඡාවට ගෙන තිබේ.

විශේෂයෙන්ම ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 25,000 ක් පමණ සේවයේ නියුතු කොරියාව වෛරසය පැතිරෙන ඉතාමත් අවධානම් රටක් බවත්, මෙරටට අවුරුදු නිවාඩුව ගත කිරිම සදහා පැමිණෙන එම ශ්‍රමිකයින් පූර්ණ විමර්ෂණයකට ලක් කොට යම් රෝගි තත්ත්වයන් ඇති අය වෙතොත් ඔවුන් ඔවුන්ගේ නිවෙස් තුළම දින 14 ක් නිරෝධායනයකට ලක් කිරීමට ද නිර්දේශ කර ඇත.

එමෙන්ම මගීන් රැගෙන එනු ලබන විශාල මගී නැව් වලින් පැමිණෙන සංචාරකයින් රට තුලට ඇතුළුවීම පාලනය කිරිම පිළිබදවත්, ආගමන නීතින් පැනවීම සදහාත්, කොළඹ සහ ගාල්ල වරාය තුලින් මෙසේ පැමිණෙන මගීන් විශේෂිත ආරක්ෂිත මෙවලම් යොදා ගනිමින් සුවිශේෂි පරීක්ෂාවකට ලක් කිරීමට ද තීරණය කර තිබේ. එමෙන්ම ධීවර වරාය තුළින් ද මෙරටට ඇතුලුවන විදේශීය ධීවර කාර්මිකයින් පිළිබදව සුපරික්ෂාකාරී ලෙස විමර්ශණය කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමට ද මෙහිදී තීරණය කළ බවත් එමෙන්ම මෙරටට විදේශකයින් කණ්ඩායම් වශයෙන් පැමිණෙන ගුවන් යානාවල විදේශකයින් පිළිබදව ද සංචාරක නියෝජිතයින් මගින් ඔවුන්ගේ තොරතුරු මෙරටට පැමිණීමට පෙර ලබාගැනීමට ද තීරණය කළ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර දැනට මෙම වෛරසයට ලක්වූවන්ට ප්‍රතිකාර ලබාදීම සදහා වෙන් කළ රෝහල් 17 ට අමතරව දියතලාව හමුදා කදවුරු භූමියේ ස්ථාපිත කෙරුණ නිරෝධායන මධ්‍යස්ථානයට අමතරව කොළඹට ආසන්න සහ දකුණු පළාත, මධ්‍යම හා වයඹ පළාත මුලාශ්‍ර කරගෙන පුර්ණ නිරෝධායන මධ්‍යස්ථාන 04 ක් ස්ථාපිත කිරීමට ද කමිටුව නිර්දේශ කර ඇත.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සදහා මුඛ ආවරණ අවශ්‍යතාවයක් මතු වුවහොත් එම මුඛ ආවරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් පිටරටින් ආනයනය කිරීමටත්, මුඛ ආවරණ කඩිනමින් මෙරට නිෂ්පාදනය කර තොඟ ගබඩා කොට තබාගැනිමටත්, කමිටුව විසින් තීරණය කරන ලදි.

මෙම සියළු තීරණ පිළිබදව කොරෝනා වෛරසය පිළිබදව ජාතික ආරක්ෂක කමිටුව විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය දැනුවත් කිරීමට කටයුතු කරන ලදි.

කොරෝනා වෛසරය පැතිරීම පාලනය සම්බන්ධයෙන් ඇමැතිවරිය මෙලෙස අදහස් දැක්වීය.

“ලෝකයේ බොහෝ රටවල කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙමින් ගියත් ලංකාවේ අපිට හැකිවුණා පසුගිය කාලයේ දී අප ගත් ක්‍රියාමාර්ග අනුව රට තුල වෛරසය පැතිරිම වැළැක්වීමටත්, විදේශ රටකින් පැමිණි  වෛරසය ආසාදිත චීන ජාතික කාන්තාව සුවපත් කරලා චීනයට බාරදිමටත්. මෙම වෛරසය නැවැත යම් කිසි තර්ජනයකට ලක්වෙමින් පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා මෙය ජාත්‍යන්තර මට්ටමේ උවදුරක් බවට. එයට ප්‍රධාන හේතුව ඉතාලිය, දකුණු කොරියාව වැනි රටවල් වල නැවැත මෙම වෛරසය සීඝ්‍රයෙන් පැතිරීම. දකුණු කොරියාවේ සිටින අපේ දරුවන් ඇතුලු පිරිස් ලංකාවට පැමිණෙමින් තිබෙනවා. එම නිසා නැවැත එම වෛරසය රට තුලට ඇතුලුවීම වැළැක්වීම, පැතිරීම වැළැක්වීම සදහා  විශාල සුදානම් වීමක් සිදු කරන්න සිදු වෙලා තිබෙනවා. පසුගිය කාලය තුල ගත් පියවර තවදුරටත් ස්ථාපිත කරමින් කටයුතු කරන්න සිදු වෙලා තිබෙනවා. ඒ සදහා ඊයේ ජාතික ක්‍රියාකාරි කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වුනා. චීනයෙන් ලංකාවට වෛරසය පැමිණීම වැළැක්වීමට ගත් පියවරයන්ට වඩා  දැඩි පියවර ගැනීමට අපට සිදු වෙනවා. මොකද දකුණු කොරියාවේ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් විශාල ප්‍රමාණයක් වන නිසා. යම් කිසි රෝගී තත්ත්වයකින් එම පිරිස් ලංකාවට පැමිණියොත් කටයුතු කළ යුතු ආකාරය ගැන ද සාකච්ඡා කළා. ඒ අනුව තීන්දු තීරණ රැසක් ගනු ලැබුවා. අපි වගකිව යුතු රජයක් විදිහට ලෝකයේ මොන රටක මේ රෝගය පැතිරී ගියත්, එම රටවල සිටින පිරිස් ලංකාවට පැමිණියත් රට තුල එම වෛරසය පැතිරිම වැළැක්වීමට ගත හැකි සියලු පියවර ගනු ලබනවා.”

මේ පිළිබදව ඇමැතිවරිය විසින් ඉදිරි කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමටත් ඒ අනුව එම තින්දු තීරණ ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමට නියමිතය.

 

Rate this item
(0 votes)